පොලිස් රථවාහන කොට්ඨාසය විසින් යොමු කරන ලද පණිවුඩ ලෙස හඟවමින්, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙසට ජංගම දුරකථන වෙත ලැබෙන කෙටි පණිවුඩ (SMS) හෝ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා අවධාරණය කරන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව විසින් කිසිදු අවස්ථාවක එවැනි කෙටි පණිවුඩ නිකුත් නොකරන බවත්, මේවා සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ වංචනික පණිවුඩ බවත්ය.
සිදුකරන ලද රථවාහන වැරදි සඳහා සතියක් ඇතුළත දඩ මුදල් ගෙවන ලෙස පවසමින්, ඒ සමඟ එවනු ලබන අන්තර්ජාල සබැඳි (web links) කිසිසේත්ම විවෘත නොකරන ලෙස පොලිසිය අවධාරණය කරයි.
එම සබැඳි හරහා ගොස් තමන්ගේ පෞද්ගලික හෝ බැංකු ගිණුම් තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත්, යම් හෙයකින් එවැනි ව්‍යාජ පණිවුඩයක් ඔබට ලැබුණහොත් ඒ පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

