ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් තමන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් එම කඳවුරේ පිහිටි ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක දරුණු ගින්නක් ද හටගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කර සිටින්නේ, මෙය මෑතකදී ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා දියත් කළ පළමු අදියර වන බවයි.
මේ අතර, අමෙරිකානු සහ ඉරාන හමුදා අතර එකිනෙකාට එරෙහිව දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ දෙපාර්ශවය අතර මෙම යුධමය තත්ත්වය වඩාත් උත්සන්න වී තිබේ.
මෙම හමුදාමය ගැටුම් හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසු යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී දෙරට අතර අත්සන් තැබූ අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුමේ ඉදිරි පැවැත්ම පිළිබඳව ද මේ වන විට බරපතළ සැක සංකා මතු වී ඇත.

