තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට

0
8

තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ඉදිකළ “තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනතා අයිතියට පත් කෙරේ. අංගමුව ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍රය කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, තලාව සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොටස් කිහිපයකුත් ආවරණය කෙරේ. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 42ක වෙසෙන පුද්ගලයන් 91,810 දෙනෙකුට මෙහි සෘජු ප්‍රතිලාභ හිමි වන අතර, නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීම තුළින් ප්‍රදේශවාසීන්ට ගුණාත්මක මෙන්ම විශ්වාසනීය පානීය ජල පහසුකම් හිමි කර දී තිබේ.

මෙයට සමගාමීව, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) එක්ව ක්‍රියාත්මක කරන මෙම ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘතිය මඟින් පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 119ක් ආවරණය කිරීමට සැලසුම් කර ඇත.

නිවාස 50,000කට නව ජල සම්බන්ධතා ලබා දෙමින් 2034 වසර වන විට පුද්ගලයන් 170,951 දෙනෙකුට ආරක්ෂිත පානීය ජලය සැපයීම මෙම දෙවන අදියරේ ප්‍රධාන ඉලක්කයයි. විශේෂයෙන්ම, මෙම කලාපයේ පවතින ඉහළ ෆ්ලෝරයිඩ් සහිත භූගත ජලය භාවිතය නිසා ජනතාව මුහුණ දෙන නිදන්ගත වකුගඩු රෝගී (CKDu) තත්ත්වයන් සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලු රැසක් අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here