එළැඹෙන සඳුදා (13) දින සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මේ දිනවල වැඩිම වී අස්වනු නෙළන ප්‍රදේශ ආශ්‍රිතව ගබඩා විවෘත කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව දැනට අස්වනු බහුල වශයෙන් නෙළීම ආරම්භ වී ඇති උතුර, නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මුල් අදියරේදී වී මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතය.
මෙවර වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගනු ලබන්නේ රජයේ සහතික මිල ගණන් යටතේය. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා වී කිලෝවක් රුපියල් 130කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 140ක් වැනි මිලකට ද මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. මේ වන විට ස්ථාන 143ක රජයේ ගබඩා මේ සඳහා වෙන් කර ඇති අතර, යම් හෙයකින් එම ගබඩා සම්පූර්ණයෙන්ම පිරී ගියහොත් අසල පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා ද තාවකාලිකව ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රජය මඟින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති අතර, ඊට අමතරව ඔඩපන ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර ඇත. මෙමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ද වී තොග රැස් කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසෙන අතර, මෙම සමස්ත මිලදී ගැනීමේ සහ ගබඩා කිරීමේ කාර්යය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

