ඇමෙරිකාව විසින් දින දෙකක් පුරා ඉරානයට එල්ල කරන ලද දරුණු ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම ප්රහාරයන්ගෙන් ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ දකුණු ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි හමුදා මධ්‍යස්ථානයි. එහිදී දින දෙකක් තුළ හමුදා ඉලක්ක 90කට ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉන් ඉලක්ක 80ක් වෙතම ප්‍රහාර එල්ල කර ඇත්තේ පළමු දිනය තුළදීය. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන කටයුතු විවෘතව තබා ගැනීම වෙනුවෙන් ඊයේ (09) දිනයේදී ද ඉරාන හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු හමුදා මධ්‍යම අණදෙන මූලස්ථානය තහවුරු කර ඇති අතර, ඊට අදාළ වීඩියෝ දර්ශන ද ඔවුන් විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
මෙම අමෙරිකානු ප්රහාරයන් හමුවේ ඉරානයේ මෂාඩ් නගරය වෙත දිවයන දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදු විය. විශේෂත්වයක් වන්නේ මෑතකදී මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය ඊයේ (09) දිනයේදී එම නගරයේදී පැවැත්වීමට නියමිතව තිබීමයි. දුම්රිය මාර්ගයට බෝම්බ වැදීම හේතුවෙන් අතරමං වූ මගීන් පිරිස පසුව බස් රථ මාර්ගයෙන් මෂාඩ් නගරය වෙත ප්‍රවාහනය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඇමෙරිකාවේ ප්රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ද ගල්ෆ් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ඊයේ (09) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනුව කුවේටය, බහරේනය සහ කටාරය යන රටවල ස්ථාපිත කර ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු ඉරානයේ ප්‍රධාන ඉලක්ක බවට පත් විය. එහිදී කටාරයේ පිහිටි ඇමෙරිකානු සැටලයිට් ඇන්ටනා පද්ධතියකට ද, කුවේටයේ ඇති පේට්‍රියට් මිසයිල නාශක පද්ධතියකට ද සහ බහරේනයේ පිහිටි ඇමෙරිකානු හමුදා ඉන්ධන ගබඩා වෙත ද ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇත. විශේෂයෙන්ම බහරේනයේ ඇති ඇමෙරිකානු ඉලක්ක වෙත පමණක් ඉරාන හමුදාව තුන් වතාවකට වඩා ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

