ගිනිකොනදිග චීනයේ “ලෝකයේ සපත්තු අගනුවර” ලෙස ප්‍රකට ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (9) දහවල් දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. චීන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන පරිදි, මෙම ශෝචනීය අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ දර්ශනවලට අනුව, ගිනිගැනීමට ලක්වූ ගොඩනැගිල්ලෙන් විශාල කළු දුමාරයක් අහසට නැඟී එන අතර, කර්මාන්ත ශාලාවේ වහලය මත සිරවී සිටි සේවකයින් පිරිසක් උපකාර ඉල්ලා සිටින අයුරුද දක්නට ලැබිණි. ගින්න හටගැනීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ සිය ගණනක ගලවා ගැනීමේ නිලධාරීන් කණ්ඩායමක්, කර්මාන්ත ශාලාව තුළ සිටි 200කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට සමත්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම අනතුර සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, ගින්න හේතුවෙන් විශාල ජීවිත හානියක් සිදුව ඇති බවයි. අනතුරට හේතුව වහාම සෙවිය යුතු බවත්, ඊට වගකිව යුතු හෝ නොසැලකිලිමත් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
දත්ත වාර්තාවලට අනුව ලෝක සමස්ත සපත්තු නිෂ්පාදනයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් සපයන ජින්ජියැං නගරයේ පිහිටි දහස් සංඛ්‍යාත කර්මාන්ත ශාලා මඟින් වාර්ෂිකව සපත්තු යුගල බිලියන 1.2කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.

