මොරොක්කෝව පරදා ප්‍රංශය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

0
13

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට වේලාවෙන් අද (10) අලුයම පැවැති තීරණාත්මක තරගයකින් මොරොක්කෝව ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් තමන්ගේ ආධිපත්‍යය යළිත් තහවුරු කරගැනීමට ප්‍රංශය සමත් විය. මෙම පරාජයත් සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝවේ ඉදිරි ගමන අවසන් වූ අතර, වත්මන් අනුශූරයන් වන ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අමෙරිකාවේ බොස්ටන් ක්‍රීඩාංගණයේදී 65,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ පැවැති මෙම තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර, ආරක්ෂක වළල්ල ශක්තිමත්ව තබාගැනීමට දෙපාර්ශ්වයම සමත් විය.

තරගයේ පළමු අර්ධය තුළ ප්‍රංශයේ සුපිරි තරුව වන කයිලියන් ම්බාපේ වෙත ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගැනීමට මොරොක්කෝ දැල් රකින්නා ඉඩ නොදීම හේතුවෙන්, පළමු අර්ධය නිමාවන විට දෙපිලටම ගෝල ලබාගැනීමට හැකි වූයේ නැත.

කෙසේ වෙතත්, දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ තරගයේ පාලනය තම අතට ගත් ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් 60 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝ ආරක්ෂක වළල්ල බිඳ දමමින් පළමු ගෝලය වාර්තා කිරීමට කයිලියන් ම්බාපේ සමත් විය. ඉන් නොනැවතුණු ප්‍රංශ කණ්ඩායමේ ඔස්මාන් ඩෙම්බේලේ 66 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට ගෝල 2-0ක විශිෂ්ට ජයක් හිමිකර දුන්නේය.

විශේෂත්වයක් වන්නේ ඉකුත් 2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ද මොරොක්කෝව ප්‍රංශය හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජයට පත්ව තිබීම වන අතර, මෙම තරගයේදී ද ඔවුන්ට එම ඉරණමටම මුහුණ දීමට සිදු වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here