ගුල්ලන් ගැසූ පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

0
3

හැටන්, කොටගල නගරයේ තොග වෙළඳසැලක තිබී සොයාගත්, පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝ 1,740ක තොගයක් භූමිතෙල් ඉස විනාශ කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා අද (09) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළේය.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පසුගිය දා කොටගල නගරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී ගබඩාවක සඟවා තිබූ මෙම පරිප්පු තොගය සොයාගෙන තිබුණි. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් පන්ලක්ෂ විසිදෙදහසක් (රු. 522,000) පමණ වන බව සඳහන් වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගත් මෙම පරිප්පු තොගය අද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, එහිදී පරිප්පු තොගයේ අයිතිකරු අධිකරණය හමුවේ වරද පිළිගත්තේය. ඒ අනුව සැකකරුට රුපියල් 2,000ක දඩයක් පැනවීමට ද මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

අධිකරණ නියෝගයට අනුව, මෙම පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගය තලවකැලේ ලිඳුල නගර සභාවේ කැළිකසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස්, භූමිතෙල් ඉස සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here