පැයට කිලෝමීටර 200ක පමණ අතිප්‍රබල වේගයකින් ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි’ සුළි කුණාටුව මේ වනවිට තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය 2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව විය හැකි බැවින්, ඊට උපරිමයෙන් සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා ඇත. චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව කිලෝමීටර 1,000ක පමණ දැවැන්ත වට ප්‍රමාණයකින් යුත් මෙම කුණාටුව, එළැඹෙන සෙනසුරාදා සවස චීනයේ නැගෙනහිර ෆුජියෑන් පළාතට ඇතුළු වීමට පෙර උතුරු තායිවානයට ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තායිවාන කාලගුණ අංශ පෙන්වා දෙන්නේ මෙය 1987 වසරෙන් පසු එරටට බලපාන විශාලතම කුණාටුව වන අතර, මෑත ඉතිහාසයේ මෙවැනි දරුණු තත්ත්වයන් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවයි.
දේශගුණික විපර්යාස සහ විශේෂයෙන්ම මේ වසරේ පවතින ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා චීනය, ජපානය සහ තායිවානය මෙවැනි විනාශකාරී දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ. ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ පර්යේෂක ෂියැන්ග්බෝ ෆෙන්ග් පවසන්නේ, කුණාටුව සාගරයේ වැඩි කාලයක් රැඳෙමින් උණුසුම් මුහුදු ජලයෙන් උපරිම ශක්තියක් සහ තෙතමනයක් ලබාගෙන ඇති බැවින්, එය ගොඩබිමට කඩා වදින විට සිදුවන විනාශය අතිමහත් (Catastrophic) විය හැකි බවයි. කුණාටු ගමන් මඟෙහි සිදුවන සුළු වෙනසකින් වුවද විශාල විනාශයක් සිදුවිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම හදිසි තත්ත්වය හමුවේ තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ විශේෂ පණිවුඩයක් නිකුත් කරමින්, දින තුනකට අවශ්‍ය ආහාර, ජලය සහ විදුලි පන්දම් ඇතුළත් හදිසි ආපදා බෑගයක් (Emergency grab bag) සූදානම් කර තබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත. මේ අතර, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ද ඔකිනාවා දූපත් වැසියන් වෙත දැඩි සුළං, නායයෑම්, ගංවතුර සහ මුහුදු රළ ගොඩගැලීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

