ඉරානය සමඟ පැවති තාවකාලික සටන්විරාම එකඟතාව අවසන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 6%කට ආසන්න ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වයත් සමඟ මැදපෙරදිග කලාපය තුළ නැවතත් දරුණු යුදමය වටපිටාවක් නිර්මාණය වීමේ අවදානමක් සහ ගෝලීය තෙල් සැපයුම් ජාලයට දැඩි බාධා එල්ල වීමේ බියක් ආයෝජකයන් තුළ හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිල ගණන් ඉහළ යාම හමුවේ ජාත්‍යන්තර දර්ශකයන්හි කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති අතර, ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 5.95%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 78.50ක් ලෙස සටහන් විය.
මීට සමගාමීව ඇමෙරිකානු (WTI) බොරතෙල් මිලද 5.95%ක ප්‍රතිශතයකින් වර්ධනය වෙමින් බැරලයක් ඩොලර් 74.60ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම හදිසි මිල උච්චාවචනය ඉදිරි දිනවලදී ගෝලීය ඉන්ධන මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

