ඉරානය ඉලක්ක කරගනිමින් ඇමරිකානු බලධාරීන් එල්ල කළ හමුදාමය ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන මෙම දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට ආයෝජකයින් තුළ ඇති වූ බිය නිසා සමස්තයක් ලෙස බොරතෙල් මිල සියයට 3කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව අද උදෑසන වන විට වාර්තා වූ දත්තවලට අනුව, ඇමරිකානු WTI (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිල සියයට 2.27ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් 72.04ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට සමගාමීව ලෝක වෙළෙඳපොළේ ප්‍රධානතම තෙල් මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 2.18ක වැඩිවීමක් වාර්තා කරමින් ඩොලර් 75.78ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, මෙම මිල ඉහළ යාමේ ප්‍රවණතාව හමුවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදනයක් වන මර්බන් වර්ගයේ බොරතෙල් මිලටය. සෙසු තෙල් වර්ගවලට වඩා වේගවත් වර්ධනයක් සනිටුහන් කළ මර්බන් බොරතෙල් බැරලයක මිල සියයට 3.43ක කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරමින් අද උදෑසන වන විට ඩොලර් 68.97ක් ලෙස සටහන්ව ඇත.

