බේරුවල, චයිනා ෆෝර්ට්හි අල් හුමයිසරා ජාතික පාසලේ ශත සංවත්සරය නිමිත්තෙන් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ “හුමයිසරා වෝක්” සමරු පා ගමන සහ ක්‍රීඩා උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විදුහල්පති මොහොමඩ් ෆර්සාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයෙන් ආරම්භ වූ සමරු පා ගමන සඳහා 1988 සිට 2022 දක්වා පාසලේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍යයන් විශාල පිරිසක් එක්වූහ. නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන්, දෙමාපියන් සහ හිතවතුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශත සංවත්සර සැමරුම් මාලාවේ තවත් අංගයක් ලෙස සන්ධ්‍යා කාලයේ නලීම් හජියාර් ක්‍රීඩාංගණයේදී ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය ආරම්භ කෙරිණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සහභාගි වූ අතර, සම්භාවනීය ආරාධිතයන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
සියවසක අභිමානවත් ගමන්මඟ සනිටුහන් කරන අල් හුමයිසරා ජාතික පාසල ගුණාත්මක අධ්‍යාපනය, විනය, යහපත් චරිත ගොඩනැගීම සහ දක්ෂ, වගකීමෙන් යුතු අනාගත පුරවැසියන් බිහිකිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රදේශයේ විශේෂ ගෞරවයට පාත්‍ර වී ඇත.


