ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා

0
17

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේදී අද අධිචෝදනා භාරදෙනු ලැබීය. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇත.

මෙහිදී එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කළේය. මීට අමතරව ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියම කළ විනිසුරුවරයා, නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට දින නියම කළේය.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළවලට හානි සිදුවීමයි.

එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කර, රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබා ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here