සමෘද්ධියෙන් අඩු ආදායම්ලාභීන්ට නිවාස 1020ක්

0
7

රජයේ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, අඩු ආදායම්ලාභී පවුල් නංවාලීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

මෙමඟින් ජීවනෝපාය, රැකියා පුහුණු, මනෝසමාජීය සවිබලගැන්වීම් මෙන්ම අවවරප්‍රසාදිත පවුල්වල මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.

ඒ යටතේ ක්‍රියාත්මක වන “සුවපහසු නිවසක් සවිබලැති පවුලක්” නිවාස වැඩසටහන මඟින් නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් 2025–2026 මූල්‍ය ප්‍රතිපාදන යටතේ එක් නිවසක් සඳහා රුපියල් මිලියනය බැගින් වෙන් කර ඇති අතර, සමස්තයක් ලෙස රුපියල් මිලියන 1,020ක පූර්ණ පිරිවැයකින් දිවයින පුරා නිවාස 1,020ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි නිවාස 896ක ඉදිකිරීම් කටයුතු සාර්ථකව ආරම්භ කර ඇති අතර, වත්මන් 2026 වර්ෂය අවසන් වීමට ප්‍රථම නියමිත නිවාස 1,020ම ඉදිකර අවසන් කොට අදාළ ප්‍රතිලාභීන් වෙත භාරදීම රජයේ අපේක්ෂාවයි.

මෙම වැඩපිළිවෙළේ තවත් සාර්ථක පියවරක් සනිටුහන් කරමින්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැතව ග්‍රාම නිලධාරී වසමේ අලුතින් ඉදිකරන ලද නිවසක් ප්‍රතිලාභී පවුල වෙත නිල වශයෙන් භාරදීම අඹන්පොළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here