නෝර්වේ හමුවේ බ්‍රසීලය පරදියි. සුපිරි තරුව නේමාර් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි.

0
9

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරගයකදී නෝර්වේ කණ්ඩායම හමුවේ ගෝල 2-1ක් ලෙස බ්‍රසීලය අනපේක්ෂිත පරාජයකට පත්විය. මෙම පරාජයෙන් පසු, බ්‍රසීල ජාතික කණ්ඩායමෙන් තමන් සමුගන්නා බව එහි සුපිරි තරුව වන නේමාර් (Neymar) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් 34 හැවිරිදි නේමාර් හැඟීම්බරව මෙසේ පවසා ඇත.

“මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්භ වුණේ මේ මෙට්ලයිෆ් (MetLife) ක්‍රීඩාංගණයෙන්, එය අවසන් වුණෙත් මෙතැනින්මයි. සියල්ල දැන් අවසන්.”

නේමාර් සිය 18 වැනි වියේදී, එනම් 2010 අගෝස්තු 10 වැනිදා බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම වරට ක්‍රීඩා කළේ ද නිව් ජර්සි හි පිහිටි මෙම මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදීම ඇමරිකාවට එරෙහිව පැවැති සුහද තරගයකිනි. දැන් ඔහු සිය අවසන් තරගය ද ක්‍රීඩා කර ඇත්තේ එම ක්‍රීඩාංගණයේදීමය. නෝර්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී පිටියට පිවිසි ඔහු, තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළදී දඬුවම් පහරක් (Penalty Kick) මඟින් ගෝලයක් රැස් කිරීමට සමත් වුවද, බ්‍රසීලයට ජයග්‍රහණය ලබා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

දකුණු වළලුකර ප්‍රදේශයේ ඇති වූ අඛණ්ඩ ආබාධ තත්ත්වයක් හේතුවෙන්, මෙම ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීලය ක්‍රීඩා කළ තරග 5න් තරග 2කට පමණක් සහභාගි වීමට නේමාර්ට අවස්ථාව ලැබුණි. පසුගිය දශකයකට වැඩි කාලයක් බ්‍රසීලයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස කැපී පෙනුණු ඔහු, මෑත කාලයේදී නිතර ආබාධවලට ලක්විය.

නේමාර්ගේ මෙම සමුගැනීමේ තීරණයත් සමඟ බ්‍රසීල පාපන්දු කණ්ඩායම නව යුගයක් කරා ගමන් කිරීමට පටන් ගෙන තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ නායක මාර්කීනියෝස් (Marquinhos) පවසා සිටියේ, “සියලුම ප්‍රේක්ෂකයින් මෙම නව පරපුරේ ක්‍රීඩකයින් කෙරෙහි ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත්, ආරම්භයේ සිටම ඔවුන්ට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්” ඉල්ලා සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here