මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (05) මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කරගනිමින් කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් අතර හටගත් ගැටුම, අද (06) උදෑසන වනවිට දරුණු සන්නද්ධ ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.
ඊයේ රාත්‍රියේ පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තත්ත්වය තාවකාලිකව පාලනය කර තිබුණද, අද උදෑසන රැඳවියන් පිරිසක් සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදීමත් සමඟ ආරක්ෂක අංශවලට වෙඩි තැබීමට සිදුව ඇත. මෙම සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 100කට ආසන්න පිරිසක් වෙඩි වැදීම් සහ කැපුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ප්‍රචණ්ඩකාරී රැඳවියන් බන්ධනාගාර රෝහල සහ ශරීර සුවතා මධ්‍යස්ථානය කඩා බිඳ දමා ඖෂධ සහ යකඩ බට සිය ප්‍රහාර සඳහා යොදාගෙන ඇති අතර, ඊයේ රාත්‍රියේම අවි ගබඩාවේ තිබූ ගිනිඅවි ආරක්ෂිතව ඉවත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබූ නිසා මහා විනාශයක් වැළකී ඇත.
විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනෙකු සිටින මෙම බන්ධනාගාරය තුළ, බලධාරීන්ගේ දැඩි පාලනයට විරෝධය පාමින් සිදුකළ මෙම ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් නමැති භික්ෂූන් වහන්සේලාට පහරදීම් සහ මත්ද්‍රව්‍ය චෝදනා රැසක් ලත් දරුණු ගණයේ අපරාධකරුවෙකු බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

