බස් ගාස්තු සංශෝධනය අද සිට.

0
11

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළ නව මිල ගණන් අද (06) සිට රට පුරා නිල වශයෙන් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. පසුගියදා ලබා දුන් අනුමැතියට අනුව මෙවර බස් ගාස්තු සියයට 12ත් සියයට 20ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දමා ඇත. මේ අනුව, සාමාන්‍ය සේවා බස් රථවල මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යන අතර, ඊට සමගාමීව සුඛෝපභෝගී බස් රථ සේවා මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තු ද සංශෝධනය කර තිබේ.

මෙම නව මිල ගණන් ක්‍රියාවට නැංවීම පිළිබඳව සියලුම බස් රථ සේවකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍ර කඩිනමින් යාවත්කාලීන කර ගන්නා ලෙස ද උපදෙස් දී ඇත. නව ගාස්තු සංශෝධනය නිසි පරිදි සිදුවන්නේ ද යන්න සහ මගීන්ගෙන් අමතර මුදල් අය කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා අද සිට දිවයින පුරා විශේෂ පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

කෙසේ වෙතත්, මෙම තාක්ෂණික වෙනස්කම් ප්‍රායෝගිකව සිදුකිරීමේදී යම් කාලයක් ගතවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. ඔහු පෙන්වා දෙන්නේ බස් රථවල පවතින ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර නව ගාස්තු ලේඛනයට අනුව සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here