ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහළට

0
13

ලෝක  වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් මිල ගණන් පහත දැමීමට පියවර ගැනීමත් සමඟ, එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබාදෙමින් ආපනශාලා ආහාර මිල ගණන් ද අඩු කිරීමට සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කරන බවයි. ඒ අනුව සාමාන්‍ය බත් පාර්සලයක්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් ද, කෙටි ආහාර, පරාටා, බිත්තර රොටි මෙන්ම කිරි තේ සහ ප්ලේන්ටී මිල රුපියල් 5කින් ද පහත දැමීමට පියවර ගෙන තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගිය 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් සංශෝධනය කරන ලද අතර, එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු වී එහි නව මිල රුපියල් 4,465ක් දක්වා පහත වැටුණි. මීට අමතරව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 118කින් අඩු වී රුපියල් 1,792ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 55කින් අඩු වී රුපියල් 835ක් ලෙසත් මිල නියම කර ඇත.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම ද ඊට සමගාමීව සිය මිල ගණන් විශාල අගයකින් පහත හෙළීමට කටයුතු කර තිබේ. ඒ අනුව ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,965ක් වෙයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,988ක් දක්වා පහත බැස ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here