ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකය ඊයේ (02) අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හරහා ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යයන් වඩාත් වගකීමකින්, විනිවිදභාවයකින් සහ ක්‍රමවත් ප්‍රවේශයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට මින් ඉදිරියට අවස්ථාව ලැබෙන බවයි. ඒ අනුව, සම්මත මෙහෙයුම් පටිපාටිවලට අනුකූලව ශාස්ත්‍රීය, විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමකින් පාසල් විෂයමාලා ඇගයීමට ලක් කරමින් වඩාත් නිරවද්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට මෙම මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත. එමෙන්ම, ආයතනයේ සමස්ත කාර්ය සාධනය ඇගයීම සහ තත්ත්ව ප්‍රමිතීන් තහවුරු කිරීම නව තත්ත්ව සහතික කිරීමේ ඒකකය මඟින් සිදු කෙරේ.
මෙහිදී රජයේ ඉදිරි අධ්‍යාපන සැලසුම් පිළිබඳව ද අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පූර්ව ළමාවිය, සාමාන්‍ය, වෘත්තීය සහ උසස් අධ්‍යාපනය යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව ප්‍රතිපත්ති සැකසීමේ අවසන් අදියරේ රජය පසුවන බව අනාවරණය කළේය. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මානව සම්පත් සැලසුම් ද විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන මේ වන විට සකස් කරමින් පවතී. රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ සමස්ත දැක්මට අනුකූලව ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යභාරය ප්‍රතිසංවිධානය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු, තොරතුරු සන්නිවේදනය, වගවීම සහ තත්ත්ව සහතික කිරීම සඳහා ක්‍රමවත් පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම නව මධ්‍යස්ථානවල ප්‍රධාන අරමුණ බව ද අවධාරණය කළේය.
මේ අතර, මෙම අවස්ථාවට එක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා ප්‍රකාශ කළේ, රටේ දරුවන්ට උසස්ම අධ්‍යාපනික අවස්ථා ලබාදීම ආයතනයේ ප්‍රමුඛතම අරමුණ බවයි. විශේෂයෙන්ම, 2027 වසරේදී 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අවශ්‍ය මොඩියුල සහ ගුරු අත්පොත් නියමිත කාලයට සූදානම් කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම විශේෂ අවස්ථාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පීඨාධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

