දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින්ට දෙහිවල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී උත්කර්ෂවත් පිළිගැනීමක්!

0
13

ධර්ම ශක්ති සංවිධානය මඟින් ශ්‍රී ලංකාවට කැඳවාගෙන එන ලද දකුණු කොරියානු සාම සංවිධානයේ සර්ව ආගමික නායකයින් පිළිගැනීමේ උත්සවය, පසුගිය (30) වනදා දෙහිවල මුහියිද්දීන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී (පල්ලියේදී) ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ විවිධ සංවිධාන සමඟ එක්ව මෙරට සමාජ සංහිඳියාව සහ සහජීවනය ගොඩනැඟීම වෙනුවෙන් ධර්මශක්ති පදනම එහි සභාපති, පූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශිෂ්ට සේවාවක් ඉටු කරමින් සිටී.

ඒ අනුව, දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන සාම සංවිධානයේ (Peace Foundation) සර්ව ආගමික නායකයින් ලංකාවේ සාම සහ සංහිඳියා කටයුතු පිළිබඳව සෘජුවම දැකබලා ගැනීම සඳහා මෙරටට පැමිණි අතර, ඔවුන් වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් මෙම පිළිගැනීමේ උත්සවය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ දෙහිවල පල්ලිය එක්ව සංවිධානය කර තිබුණි.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ නිලෝෆර් මහතාගේ සම්බන්ධීකරණයෙන් ඉතා ඉහළ අන්දමින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ද, සුවිශේෂී අමුත්තා ලෙස ආගමික හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ද, විශේෂ අමුත්තා ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් අෂ්-ෂෙයික් අර්කම් නූරාමිත් මහතා ද සහභාගී වූහ. මීට අමතරව සහජීවනය සහ සාම කටයුතු වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ප්‍රභූන් සහ සංවිධාන රැසක නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පල්ලිය වෙත සාදරයෙන් පිළිගත් දකුණු කොරියානු සර්ව ආගමික කණ්ඩායම ඇතුළු සියලුම ප්‍රභූවරුන්ට, ඉන් අනතුරුව එළඹි ‘ලුහර්’ (මධ්‍යහ්න) යාඥා වේලාවේදී මුස්ලිම් බැතිමතුන්ගේ වත්පිළිවෙත් සහ යාඥා නිරීක්ෂණය කිරීමට ද අවස්ථාවක් හිමි විය. ඉන්පසුව, පල්ලිය පරිශ්‍රයේදීම දහවල් ආහාර සංග්‍රහයක් පැවැත්වුණු අතර, අනතුරුව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී දකුණු කොරියානු සාම සංවිධානයේ සර්ව ආගමික නායකයින්, ධර්මශක්ති පදනමේ සාමාජිකයින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් අර්කම් නූරාමිත්, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ නිලෝෆර් මහතා ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.

“සාමය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය” යන තේමාව යටතේ මෙම සාකච්ඡාව ධර්මශක්ති පදනම විසින් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව සම්බන්ධීකරණය කර තිබීම සුවිශේෂී වේ. එහිදී ධර්මශක්ති පදනමේ ලේකම් අනුර පෙරේරා පියතුමා විසින් ස්තූති කතාව සිදු කරන ලදී.

රටේ සියලුම ජනතාව අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ධර්මශක්ති පදනම විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව සිදු කරන මෙවැනි වැඩසටහන් අඛණ්ඩව රට පුරා ව්‍යාප්ත වී, එක්සත් වූ සහ සෑම ක්ෂේත්‍රයකින්ම දියුණු වූ දේශයක් බිහිවීම සැමගේම ප්‍රාර්ථනයයි.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා අවශ්‍ය පූර්ණ අනුග්‍රහය සහ පහසුකම් දෙහිවල මුහියිද්දීන් ජුම්මා පල්ලි පාලක සභාව විසින් ඉතා විශිෂ්ට අයුරින් සපයා තිබීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here