ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී සාර්ථකව ආරම්භ වී තිබේ. මෙම සාකච්ඡා මඟින් ධනාත්මක ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇති බව කටාර් රාජ්‍යය නිවේදනය කරයි.
කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මජෙද් අල්-අන්සාරි සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, කටාරය සහ පකිස්ථානය මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් දෙපාර්ශ්වය සමඟ වෙන වෙනම මෙම සාකච්ඡා මෙහෙයවූ බවයි. මීට පෙර ස්විට්සර්ලන්තයේ පැවති ඉහළ මට්ටමේ හමුවකදී ලබාගත් ප්‍රතිඵල පදනම් කර ගනිමින් මෙම දෝහා සාකච්ඡා ඉදිරියට ගෙන ගිය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය කටයුතු අවසන් වූ වහාම මීළඟ වටයේ සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත. ඉරාන බලධාරීන් විසින් ජූලි 4 වනදා සිට ජූලි 9 වනදා දක්වා ඉරානයේ සහ ඉරාකයේ විවිධ ප්‍රදේශවල අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අවමංගල්‍ය උත්සව සංවිධානය කර තිබේ.

