කොළඹ වුල්ෆෙන්ඩාල් බාලිකා මහා විද්‍යාලයට රුපියල් මිලියන 100ක නව තෙමහල් ගොඩනැගිල්ලක්

0
54

කොළඹ වුල්ෆෙන්ඩාල් බාලිකා මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය ජූනි 30 වැනි අඟහරුවාදා විදුහල්පතිනි සුජීවානි ඇල්ලේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ආරම්භ වූ මෙම උත්සවයේදී රුපියල් මිලියන 100ක පමණ වියදමින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කෙරිණි. මෙම ගොඩනැගිල්ල ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයීදා පදනමේ (Saeeda Foundation) මූල්‍ය දායකත්වයෙන් හා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නව්සර් ෆවුසි මහතාගේ මූලිකත්වයෙන් ඉදිකර ඇත.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සහභාගි වූ අතර, විදුහල්පතිනි සුජීවානි ඇල්ලේපොළ මහත්මිය, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුණීර් මුලාෆර් මහතා, හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා, නව්සර් ෆවුසි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ එක්ව සමරු පීත්ත පටිය කපා ගොඩනැගිල්ල විවෘත කළහ.

උත්සවයට කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් ප්‍රේමතිලක මහතා, කොළඹ මධ්‍යම කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩිස්නා දිසානායක මහත්මිය, විදුහල්පතිවරු, පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින්, දෙමාපියන්, ගුරුභවතුන්, සිසු සිසුවියන් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයකට ‘A’ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන් වෙත සහතිකපත් හා පදක්කම් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි. එමෙන්ම සිසු සිසුවියන් විසින් විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කළහ.

උත්සවය නිමාවට පත්වූ අවස්ථාවේදී විදුහල්පතිනි සුජීවානි ඇල්ලේපොළ මහත්මිය විසින් පාසල වෙනුවෙන් සිදුකළ දායකත්වය ඇගයීම සඳහා නව්සර් ෆවුසි මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

(රුසායික් ෆාරුක්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here