දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නංවා, ආනයන මත යැපීම අවම කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) ගොවිජන මන්දිරයේ පැවති උත්සවයකදී ය. එහිදී කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන “FRIENDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රටකජු වගා කරන ගොවි සංවිධාන වෙත රුපියල් ලක්ෂ 63ක් වටිනා ට්‍රැක්ටර් බෙදා දීම සිදු කෙරිණි.
මෙහි මුලික අරමුණ වනුයේ රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවිතැන් කටයුතු යාන්ත්‍රිකකරණය කිරීම සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමයි.
ලැබුණු ට්‍රැක්ටර් නිසි පරිදි භාවිත කිරීම සහ ඒවා පිළිබඳ අඛණ්ඩ පසුවිපරම් සිදු කිරීම ගොවි සංවිධානවල වගකීමක්. ආනයන ආදේශන නිෂ්පාදන ප්‍රවර්ධනයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි. එහිදී නිෂ්පාදකයාගේ මෙන්ම පාරිභෝගිකයාගේද යහපත ගැන අප සිතිය යුතු බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසා ඇත.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමට සහ නිෂ්පාදනවලට අගය එකතු කිරීම සඳහා රජය මැදිහත් වන බවයි. පසුගිය වසරේදී මුං ඇට ආනයනය සාර්ථකව නතර කිරීමට හැකි වූවාක් මෙන්, ඉදිරියේදී රටකජු ආනයනයද අවම කර ගොවීන්ට ස්ථාවර වෙළඳපොළක් නිර්මාණය කර දීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

