ලෝකයේ ප්‍රමුඛතම සන්නිවේදන යෙදුම වන WhatsApp විසින් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ‘Usernames’ (පරිශීලක නාම) විශේෂාංගය සම්බන්ධයෙන් පරිශීලකයන් තුළ මතුව තිබූ රහස්‍යතා ගැටලු කිහිපයකට එම සමාගම විසින් පැහැදිලි කිරීමක් ලබා දී තිබේ.
එහිදී ඔවුන් සහතික වී ඇත්තේ මෙම පද්ධතිය තුළ කිසිදු පොදු නාමාවලියක් (Public Directory) හෝ පරිශීලක නාම නිර්දේශ කිරීමක් (Username Suggestions) ඇතුළත් නොවන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය විවිධ කටකතා හේතුවෙන් මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත. එම කටකතා මගින් ප්‍රකාශ වූයේ ඕනෑම අයෙකුට සෙවුම් මෙවලමක් (Search option) හරහා වෙනත් අයෙකුගේ පරිශීලක නාමයක් සොයාගෙන ඔවුන් වෙත පණිවිඩ යැවීමට මෙම විශේෂාංගය මගින් ඉඩ සැලසෙනු ඇති බවයි.
එම සැකයන් දුරු කරමින් WhatsApp ආයතනය ප්‍රකාශ කළේ, “මෙහි කිසිදු නාමාවලියක් හෝ නිර්දේශ කිරීමක් සිදු නොවන” බවයි. ඒ අනුව, යම් පුද්ගලයෙකුගේ නිවැරදිම පරිශීලක නාමය (Exact Username) කල්තියාම දන්නා අයෙකුට පමණක් ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව හිමි වේ.
මීට අමතරව, තවදුරටත් රහස්‍යභාවය තහවුරු කිරීම සඳහා “Username Key” (පරිශීලක නාම කේතයක්) සක්‍රීය කිරීමට ද පරිශීලකයන්ට අවස්ථාව ලැබෙන බව සමාගම අනාවරණය කළේය. මේ හරහා වෙනත් අයෙකුට තමන්ව සම්බන්ධ කර ගැනීමට නම්, අදාළ පරිශීලක නාමයට අමතරව මෙම රහස්‍ය කේතය ද අනිවාර්යයෙන්ම සැපයිය යුතු වේ.
මෙම නව විශේෂාංගයේ ප්‍රධාන අරමුණ වන්නේ දුරකථන අංකය අන් අය සමඟ හුවමාරු කර නොගෙන WhatsApp හරහා සම්බන්ධ වීමට ඉඩ සැලසීමයි. එමගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට ඉහළ ආරක්ෂාවක් හිමි වනු ඇත.
කෙසේ වෙතත්, මෙම විශේෂාංගය නිල වශයෙන් සියලුම පරිශීලකයන් වෙත මුදා හරින දිනයක් පිළිබඳව WhatsApp සමාගම මෙතෙක් නිවේදනය කර නොමැත.

