චීනයේ සිටි ලොව ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වූ ගුඕ වෙන්ගුයි හට අමෙරිකානු අධිකරණයකින් වසර 30ක සිරදඬුවමක්.

0
4

ඩොලර් බිලියනයක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ වරදට, චීනයේ සිටි ලොව ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වූ ගුඕ වෙන්ගුයි හට අමෙරිකානු අධිකරණයක් විසින් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබේ.

කලක් චීනයේ ප්‍රධාන පෙළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වූ ගුඕ, 2017 වසරේදී චීනයෙන් පලාගොස් අමෙරිකාවේ පදිංචි විය. එහිදී ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි විවේචකයෙකු ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, වංචනික ලෙස මුදල් ඉපැයීම , මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට ඔහු වරදකරු බව පසුව අධිකරණයේදී ඔප්පු විය.

නිව්යෝර්ක් අධිකරණ විනිසුරු ඇනලීසා ටොරස් ප්‍රකාශ කළේ, ගුඕ විසින් චීනයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට කැමැත්තෙන් සිටි පුද්ගලයන්ව රවටා, ඔවුන්ගේ මුදල් ලබාගෙන තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය සඳහා වැය කර ඇති බවය.

‘මයිල්ස් ගුඕ’ සහ හෝ ‘වන් ක්වොක්’ යන නම්වලින් ද හඳුන්වන මොහුට මෙම දඬුවම නියම කරන අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට රැස්ව සිටියහ.

අමෙරිකානු නීතිඥ ෂෝන් එස් බක්ලි මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, “තමන්ට ලැබුණු නීත්‍යානුකූල අවස්ථාවලින් සෑහීමකට පත් නොවූ ගුඕ, තමන්ගේ කෑදරකම වෙනුවෙන් දහස් ගණනක් මිනිසුන් තැබූ විශ්වාසය අනිසි ලෙස භාවිත කළා” යනුවෙනි. “ප්‍රසිද්ධිය හෝ ධනය නිසා කිසිවෙකුට නීතියට ඉහළින් යා නොහැකි බවත්, අහිංසක පවුල් සූරාකමින් තමන් පොහොසත් වන වංචාකරුවන්ට මෙවැනි දැඩි ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන බවත් මේ දඬුවමෙන් පැහැදිලි වෙනවා” යැයි ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here