මේ රට දුෂණයෙන් තොර ශිෂ්ටසම්පන්න රටක් කිරීමට හැම කැප කිරීමම කරනවා – ජනපති අවධාරණය කරයි.

0
7

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.

අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුව‌ට පැමිණ තිබේ.

දුෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයින්, අපරාධ හා දේශපාලනය යන සියල්ල මැඩපැවැත්විය යුතු බවත් ඒ සඳහා නීති හා රාජ්‍ය ආයතන ඇති බවද සඳහන් කර ජනාධිපතිවරයා අද වනවිට අවාසනාවකට මෙන් විපක්ෂය මේ සියල්ලේ ප්‍රධාන චුදිතයා බවට පත්ව ඇති බවද සඳහන් කළේය.

අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා විශාල කාර්යභාරයක් ඉටුකරන බවත් අද ඔහු විපක්ෂයේ සතුරෙකු බවට පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිලීප පීරිස් මහතා හා අධිකරණය ද අද වනවිට විපක්ෂයේ සතුරෙකු වී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

“අද වෙද්දි සාධාරණය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය විපක්ෂයට ඔරොත්තු දෙන්නේ නෑ.. රාජ්‍ය ඇතුළේ සිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් අපරාධ කර ඇත්නම් අපරාධකරුවන් හෙළි කළ යුතු නැද්ද ? එය රට පාවාදීමක් ද ? එය දේශද්‍රෝහීවීමක් ද ? නෑ ඒ ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පරිවර්ථනය කළ යුතුයි.”

“අපේ රට තිබුණේ අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාවන්, බුද්ධි අංශ කෙරෙහි ගෞරවය, ඇගයීම, හෘදයාංගභාවය අපි තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉටුකර ඇති කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩවට පත්වෙන්නේ නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා…දේශීයවත්, ජාත්‍යන්තරවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාවන් වෙනුවෙන් හමුදාවන් හා බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඔවුන් ඔ්නෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා. අපි ඒ කාර්ය කරනවා.

හැබැයි හමුදාවේ හෝ බුද්ධි අංශයේ කුඩා කණ්ඩායම් රාජ්‍ය උවමනාවකට, යම් පවුලක බලය වෙනුවෙන්, දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් යම් කාරණා ඉටුකර ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබාදෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නෑ..

තමන්ගේ බලය පවුලක සහ තමන්ගේ දේශපාලන කඳවුරක බලය වෙුනවෙන් කරන ලද අපරාධ තාජුඩීනුත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි… මේ ඔක්කෝම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රණයක මෙහෙයුම්කරුවන් හිටියා. මේක හෙළිදරව් කරන්න ඔ්නේ නැද්ද රටට. රටේ සුදුවෑන් බියක් තිබුණේ නැද්ද ? අංක තහඩු නැති සුදු වෑන්වලින් තමන්ගේ වත්තේ ගේ කඩනවාට විරුද්ධ වුණ මිනිහාව පැහැරගත්තා. මේවා සිවිල් ගැටුම් නෙමෙයි. කුඩා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන උවමනාවෙන් යෙදවලා මේ මිලේච්ඡ ඝාතනයන් කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මිලේච්ඡ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.”

මේ සඳහා විරුද්ධ විය හැක්කේ අපරාධවලින් වාසි ගත්ත අයට පමණක් බවද පැවසු ජනාධිපතිවරයා, පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට කවුරුන් හෝ බියවද්දමින් තර්ජනය කරන්නේ නම්, ඔවුන් වෙනුවෙන් රජය පෙනී සිටින බවත් පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද පැවසීය.

“කට්ටිය හිතුවා මේවා කාලයේ වැලිතලාවෙන් යටවෙයි කියලා. එහෙම වෙන්න දෙන්නේ නෑ. අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට පැමිණීම තමා අපේ රාජකාරිය. විමර්ශන කරලා, අත්අඩංගුවට අරන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු දාලා අධිකරණයෙන් අපි දඬුවම් දෙනවා. ඝාතනයෙන් බේරගන්න කප්පම් ගත්ත ඉතිහාසයක් තිබුණා. අද උදේ ගත්ත අයගේ රහස් හෙළිවෙයි ඔයාලට. ඔයාලා තවදුරටත් එහෙම අයව පක්ෂයේ තියාගෙන ඉඳිද. 

දේශපාලන අධිකාරිය මේ මත්කුඩු, මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ වර්ධනයට ඉවහල් වෙලා තියෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරිය මේ සඳහා ලබාදෙන රැකවල් මුළුමනින්ම අහෝසි කරනවා. කවුරු දේශපාලන පළිගැනීම් කියන්න එපා. අපිට බලය දුන්නේ කුමක් වෙනුවෙන් ද? විශාල ජන වරමක් තිබුණා. ඒ ඇතුළේ හරයක් තිබුණා. ඒක තමා අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්නභාවයට පරිවර්තනය කරන්නේ. පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි. 

අපිට පැවරී ඇත්තේ යළි මේ රටට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒම. එය පාර්ලිමේන්තුව තුළ ද, රාජ්‍ය ආයතන තුළ ද, මේ සියල්ල තුළට යළි ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයේ අපි නිරත වී සිටිනවා…”

“සල්ලි පන්නලා තියෙනවා රටෙන් එළියට..ඒවා අද හෙළිවෙලා තියෙනවා. කිහිපදෙනෙක් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. පරීක්ෂණ පවත්වමින් තියෙනවා. දුෂණයෙන් උපයාගත් ධනය තමා ඩෙලර් හරහා එළියට ගිහින් තියෙන්නේ. ලංකාවේ ඇතුළේ රුපියල් වලින් වෙන්න පුළුවන් හැබැයි රටින් පන්නලා තියෙන්නේ ඩොලර් විදියට. මේ රටේ ආර්ථිකය හා සමාජ දේහය බිඳ වැටීම සඳහා දුෂණය ඉවහල් වෙලා තියෙනවා.. කිසි කෙනෙකුගේ පෞද්ගලික පළිගැනීමක්, කෝන්තර පිරිමහා ගැනීමේ උවමනාවක් අපිට නෑ. මේ පළිගැනීමක් නෙමෙයි. කුඩු සල්ලි, අපරාධකරුවන්ගේ සල්ලි, දූෂණයෙන් උපයා ගන්නා සල්ලි ඔක්කෝම ගිහින් තියෙන්නේ TT හරහා. “

අපි මේ රටේ පොදු ජනයාට දුෂණය, වංචාව පිළිබඳ දඬුවම් ලබාදීම ගැන තියෙන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුව බවට පත්වෙමින් තියෙනවා. ඒක කරනවා. ජීවිත අවදානම අරන් තමා සමහරු විමර්ශන සිදුකරන්නේ. ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ අනුව විශාල ප්‍රාමණයකට අපි වරෙන්තු අරන් තියෙනවා. වීශාල ප්‍රමාණයක් අධිකරණයට මුහුණදෙන්න බැරුව පලාගිහින් තියෙනවා. මේක පළිගැනීම නෙමෙයි. අපරාධකරුවන්ටත් තමන් පිළිබඳ තියෙන කරුණු මැනවින් අධිකරණයට ඉදිරිපත් කරලා, නිදහස් වීමේ අයිතිය තියෙනවා. 

අපේ ආණ්ඩුව ආවට පස්සේ හෙරොයින් කිලෝ 3,390ක්, කොක්න් කිලෝ 304ක්, අයිස් කිලෝ 5,543ක්, කුෂ් කිලෝ 1,521ක් සහ මත්පෙති 5,110,731ක් සහ මත්කරල් 2,454,267ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. අපි විශාල වෙහෙසක් දරනවා මේ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න. මුහුදු සීමාවේ නාවික හමුදාව විශාල කාර්යභාරයක් කරනවා. හැබැයි තාමත් වෙනවා. හැමතැනම මැඩපවත්වන්න අපි ක්‍රියා කරනවා. තරාතිරම නැතුව අපි අත්අඩංගුවට අරන් තියෙනවා. 

ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමටත් විශාල වෙහෙසක් ගන්නවා. මේ වෙද්දිත් අපි රතු නිවේදන නිකුත් කරපු 23 දෙනෙක් පිරට සිට ලංකාවට ගෙනල්ලා තියෙනවා. තවත් විවිධාකාරයෙන් මේවට සම්බන්ධ 35ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. සමහරු බන්ධනාගාරයේ සිට මේවා මෙහෙයවුවා.”  යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here