පොසොන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී පොලිසිය දැනුවත් කිරීම අනිවාර්යයි. අනතුරු සඟවන රියදුරන්ටත් දැඩි පියවර!

0
10

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී, අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මහා මාර්ගයේ සිදුවන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

දන්සැල් සහ තොරණ සඳහා නව මාර්ගෝපදේශ “මහජනතාව ඒකරාශී වන ප්‍රදර්ශන හෝ දන්සැල් පවත්වනවා නම්, ස්ථානාධිපතිවරයාගේ සම්බන්ධීකරණය මත වාහන නැවැත්වීම ඇතුළු අවශ්‍ය මාර්ගෝපදේශ ලබාගත යුතුයි. අප දන්සැල් පැවැත්වීම තහනම් කර නැහැ, නමුත් එය විධිමත් කළ යුතුයි. මේ පොසොන් සමයේදී ස්ථානාධිපතිවරුන් මැදිහත් වී දන්සැල් විධිමත්ව සංවිධානය කිරීමට කටයුතු කරනු ඇතැයි” නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අනතුරු වසන් කරන රියදුරන්ට නීතිමය පියවර මාර්ගවල සිදුවන රිය අනතුරු පිළිබඳව පොලීසිය දැනුවත් නොකර, අන්‍යෝන්‍ය වශයෙන් මහා මාර්ගයේදීම සමථයකට පත් කරගන්නා රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සෑම රිය අනතුරක්ම අනිවාර්යයෙන්ම ලේඛනගත කළ යුතු අතර, අනතුරක් සිදුවී පැය 24ක් ඇතුළත ඒ පිළිබඳව වාර්තා කිරීම රියදුරුගේ වගකීමකි. එසේ නොකරන රියදුරන් ‘අනතුරක් වාර්තා නොකිරීමේ වරදට’ යටත් කර නීතිය ක්‍රියාත්මක කරන බව සේනාධීර මහතා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය පරීක්ෂා සහ අනතුරු සංඛ්‍යාලේඛන වසරේ මේ දක්වා වූ කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියදුරන් 7,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට මාරක රිය අනතුරු 98ක සහ ඉන් මියගිය සංඛ්‍යාවේ 104ක වැඩිවීමක් පෙන්නුම් කළද, පොලීසිය විසින් දියත් කර ඇති විශේෂ මෙහෙයුම් හේතුවෙන් සතිපතා වාර්තා වන අනතුරු ප්‍රමාණය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here