ජාත්‍යන්තර මට්ටමින් අතිශය ජනප්‍රිය සම්මානයට පාත්‍ර වූ, ගාසා තීරයේ ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය සහ පීඩාවන් ඉතා සංවේදී මෙන්ම තාත්වික අයුරින් නිරූපණය කරන ‘හින්ද් රජබ්’ (Hind Rajab) සිනමා පටය මේ වන විට ශ්‍රී ලංකාවේ සිනමාශාලාවල ප්‍රදර්ශනය කෙරෙමින් පවතී.
කුඩා දැරියකගේ කතා පුවතක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම සිනමා පටය, ගාසා වැසියන් මුහුණ දෙන ඛේදනීය ඉරණම මුළු ලෝකයටම කියාපාන සුවිශේෂී නිර්මාණයකි.
2025 සැප්තැම්බර් මාසයේ පැවැත්වුණු 82 වැනි වෙනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී (Venice International Film Festival) මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී, සිනමා උළෙල ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ලෙස විනාඩි 23 ක් පුරා ප්‍රේක්ෂකයින් නැගී සිට අත්පොළසන් දෙමින් (Standing Ovation) සිය උපහාරය පුද කළහ. එහිදී මෙම සිනමා පටය කීර්තිමත් ‘රීදී සිංහයා – ජූරියේ විශේෂ මහා සම්මානය’ (Silver Lion Grand Jury Prize) දිනා ගැනීමට සමත් විය.
මීට අමතරව, 98 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ (Academy Awards) හොඳම ජාත්‍යන්තර සිනමා පටය කාණ්ඩය යටතේ ටියුනීසියාවේ නිල නිර්දේශය ලෙස ද මෙය ඉදිරිපත් කෙරිණි. එමෙන්ම ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සහ බැෆ්ටා (BAFTA) සම්මාන සඳහා ද නිර්දේශ වෙමින් ගෝලීය වශයෙන් ඉහළ ආදායම් වාර්තා තැබීමට මෙම සිනමා පටය සමත්ව ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ සිනමාශාලාවල ප්‍රදර්ශනය වන මෙම සිනමා පටයේ දර්ශන වේලාවන් සහ සිනමාශාලාවල නාමලේඛනය ඇතුළත් විස්තර පහතින් දැක්වේ.
පසුගිය ජූනි 18 වනදා කොළඹ මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් (Majestic Cineplex) හි පැවැත්වුණු විශේෂ දර්ශනයකින් ඇරඹි මෙම සිනමා පටය, ඊයේ (ජූනි 19) සිට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තිරගත කරනු ලබයි.


