යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමුවූ සමූහ මිනිවළ, මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් වාර්තා වූ විශාලම සමූහ මිනිවළ බව පැවසේ.
ඊයේ (15) දින සිදුකළ කැනීම්වලදී තවත් මිනිස් සිරුරු 10කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීමත් සමඟ, මෙම මිනිවළෙන් මේ දක්වා මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට පෙර උතුරු පළාතේ විශාලම සමූහ මිනිවළ ලෙස සැලකුණේ මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමුවූ මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ මිනිවළ බව සඳහන් වේ.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනෙන් අවසන් වූ චෙම්මනි සමූහ මිනිවළේ 6 වැනි අදියරේ 25 වැනි දිනය වන විට සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර ඉන් සිරුරු 351ක කොටස් මේ වන විට ගොඩගෙන ඇති බවය.
යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම කැනීම් කටයුතු සිදුකරනු ලබයි.
2026 අප්‍රේල් 27 වෙනිදා මේ දක්වා වන 6 වැනි අදියර තුළින් පමණක් මිනිස් සිරුරු 112ක කොටස් ගොඩගෙන ඇත.
කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද හමුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මීට පෙර 2025 සැප්තැම්බර් 06 වෙනිදා මෙහි 5 වැනි අදියර නිමාවට පත්වන විට සිරුරු 239ක කොටස් ගොඩගෙන තිබිණි.

