සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් (Major General (Retd) Dr. Nayyar Naseer) මහතා අතර හමුවක් ඊයේ (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
රැස්වීම අතරතුර, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දිගුකාලීන මිත්‍රත්වය අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින එම දිගුකාලීන සමාජීය, ආර්ථික සහ දේශපාලනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත්, දෙරට අතර බහුවිධ අංශ හරහා හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරිම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු විය.
දෙරටේ සෞඛ්‍ය සේවාවන් සහ ඖෂධ සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වූ අතර, දෙපාර්ශ්වයම පවතින වෛද්‍ය අධ්‍යාපනික සහයෝගීතා, වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපන සහ පුහුණු අවස්ථා හුවමාරු කර ගැනීම සහ විශේෂයෙන් පකිස්ථානයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා වෛද්‍ය ශිෂ්‍යත්ව සමාලෝචනය ආදී ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීය පුහුණුව සහ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගන්නා ලදි.
එමෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව සහ අවබෝධතා ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කරමින් ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ හුවමාරු කරගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, සැපයුම්කරුවන් සහ වෙළෙඳ නියෝජිතයන් සම්බන්ධ කරගනිමින් අන්තර් ක්‍රියාකාරි සැසි පැවැත්වීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා විය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව දිගු කලක් ප්‍රමුඛතාවක්ව පවතින අවබෝධතා ගිවිසුම් කඩිනමින් අත්සන් කර නිල වශයෙන් බලාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.
සාකච්ඡාවේ තවත් කැපී පෙනෙන විශේෂත්වයක් වූයේ දෙරටේ සංස්කෘතිකාංග ඇතුළත් මාධ්‍ය වැඩසටහන් හුවමාරු කර ගනිමින් සංචාරක සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා සිදු කිරිමයි. දෙරට අතර සංචාරක කර්මාන්තය නැංවීමේ විශාල විභවතාවක් පවතින බව මෙහි දී සාකච්ඡා වූ අතර, මහජන සබඳතා වර්ධනය කිරීම සඳහා පාකිස්ථානු මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ සංචාරක ස්ථාන ඇතුළත් විශේෂ වාර්තා චිත්‍රපට ප්‍රදර්ශණය කිරීමේ යෝජනාව පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.
ටෙලි නාට්‍ය ප්‍රදර්ශණය කිරීම ඇතුළු නව ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතාව පුළුල් කිරීම සඳහා මෙරට ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පාකිස්ථාන තොරතුරු හා විකාශණ අමාත්‍යාංශය අතර ඇති කර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනම් කිරීමට මහකොමසාරිස්වරයා මෙහි දී යෝජනා කළ අතර, ජනතාව දැනුවත් කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් ගන්නා වූ මෙම ප්‍රයත්නයට ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.
සාකච්ඡා කරන ලද සියලුම ක්ෂේත්‍රයන් සඳහා පාකිස්ථානයේ අඛණ්ඩ සහයෝගය මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික කිරීම ද විශේෂත්වයක් වන අතර, මෙම සුහද සාකච්ඡාව නිමා කරමින්, පාකිස්ථානු මහකොමසාරිස්වරයා විසින් ඉදිරියේදී පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට නිල ආරාධනයක් ද පිරිනමන ලදී.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මහ්වාෂ් සාමි (Ms.Mahwash Sami) (වෙළඳ හා ආයෝජන) සහ මාධ්‍ය, සංස්කෘතිය සහ අධ්‍යාපනය සම්බන්ධීකාරක අදීල් සත්තාර් (Mr. Adeel Sattar) යන මහත්ම මහත්මීන් ද සහභාගී වී සිටියහ.


