මෙරට සියලුම මාතෘ සායනවල ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple Elimination) වැඩසටහන අද සිට ඇරඹේ.

0
17

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිවයින පුරා පිහිටි සියලුම මාතෘ සායන ආවරණය වන පරිදි ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple Elimination) වැඩසටහන අද (ජූනි 01) සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම නව වැඩසටහන යටතේ, අද සිට සායන වෙත පැමිණෙන ගැබිණි මව්වරුන්ගේ රුධිර පරීක්ෂණ සිදු කිරීමේදී, දැනට පවතින එච්.අයි.වී. (HIV) සහ උපදංශය (Syphilis) යන රෝගී තත්ත්වයන්ට අමතරව හෙපටයිටිස් බී (Hepatitis B) වෛරසය සඳහා ද අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කෙරේ.

මීට පෙර, මවගෙන් දරුවාට එච්.අයි.වී. සහ උපදංශය බෝවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ‘ද්විත්ව තුරන් කිරීමේ’ (Dual Elimination) වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නංවන ලදී. එම සාර්ථකත්වය අගයමින් 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම සන්ධිස්ථානය ජයගත් ලොව පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කළ අතර, එතැන් පටන් අඛණ්ඩව එම තත්ත්වය රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

“එහි මීළඟ පියවර ලෙසයි මෙම ත්‍රිත්ව තුරන් කිරීමේ වැඩසටහන දැන් ආරම්භ කර ඇත්තේ. මේ හරහා දිවයින පුරා පිහිටි සෑම මාතෘ සායනයකදීම ගැබිණි මව්වරුන් එච්.අයි.වී සහ උපදංශයට අමතරව හෙපටයිටිස් බී සඳහා ද පරීක්ෂා කිරීම සහතික කෙරෙනවා.” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙමඟින් උපදින දරුවන්ට මවගෙන් වැළඳිය හැකි බෝවන රෝග තුනක්ම සම්පූර්ණයෙන් තුරන් කර, නිරෝගී දරු පරපුරක් බිහිකිරීම රජයේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here