චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඉදිරි දින කිහිපය තුළ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වන බවට පළවන වාර්තා හේතුවෙන් කලාපීය සහ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය යළිත් දැඩි අවධානයකට ලක්ව තිබේ.
දකුණු කොරියානු මාධ්‍ය සහ දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ලබන සතියේ හෝ ජුනි මාසය මුලදී මෙම විශේෂ සංචාරය සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. චීන ආරක්ෂක සහ සන්ධාන ප්‍රොටෝකෝල නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් උතුරු කොරියාවේ ප්යොන්යැං අගනුවර වෙත ගොස් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරමින් සිටින බවද වාර්තා වේ.
මෙම සංචාරය පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන නායකයින් බීජිං නුවරදී හමුවී ෂී ජින්පින් මහතා පැවැත්වූ ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව මෙය සංවිධානය වීම නිසාය.
දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ, මෙම සංචාරය හරහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවතින සබඳතා යළි පණ ගැන්වීම සඳහා චීනය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් වන බවයි.
මෙය සැබවින්ම සිදුවුවහොත්, එය චීන ජනාධිපතිවරයා වසර හතකට පසු උතුරු කොරියාවේ නිරත වන පළමු සංචාරය වනු ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, චීනය සහ උතුරු කොරියාව අතර පවතින්නේ සමීප මිත්‍රත්වයක් බව පමණක් ඔවුන් අවධාරණය කර තිබේ.

