පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කිරීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පසුගියදා සිදු විය.
මේ අනුව රු. 20.00 සහ රු.70.00 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කෙරිණි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කළ අතර මේ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවකාශය උදා වනු ඇත.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීහු ද සහභාගී වුහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි
රෝහණදීර, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පි. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

