ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමු වෙයි.

0
2

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  මේජර් ජෙනරල් Nayyar Naseer (විශ්‍රාමික) මැතිතුමා, අද (මැයි 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක සේනා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය ආරම්භ කිරීම වෙනුවෙන් ඔහු වෙත සුබ පැතුම් ද එක් කළේය. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායි අන්දමින් පැවැත්විණි. මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම, පුහුණු කටයුතු සහ කලාපීය ආරක්‍ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස් Naseer මැතිතුමා, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට සිය කැමැත්ත යළි තහවුරු කළේය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් Zunaira Latif මහත්මිය සහ පාකිස්තාන ආරක්‍ෂක උපදේශකවරයා ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here