ශ්‍රී ලංකාවේ ” ඒහිපස්සිකෝ ” ලෙස නම් කර තිබූ ( A Global Walk for Peace ) නැමති සාම පා ගමන සදහා සහභාගී වීම සදහා මෙරටට පැමිණ සිටි , ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග “ආලෝකා ” නැමති සුනඛයා ද තවත් ගිහි පිරිසක් ද එම සාම පාද චාරිකාව නිමා කර අද 29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
මෙම භික්ෂුන් වහන්සේලා පිරිස අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත සංග්‍රහ සත්කාර කිරීමෙන් පසු , ගුවන් තොටුපොළ විවිධ අංශ වල සේවයේ නිරත සේවක – සේවිකාවන් පැමිණ , නමස්කාර කිරීම ද සිදු කළහ.
” ආලෝකා ” සුනඛයා වෙනුවෙන් පශු වෛද්‍යවරුන් , ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීවරුන් සහ ගුවන් හමුදා නිලධාරීන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරමින් සිටියහ.
මෙම භික්ෂුන් වහන්සේලා පිරිස අද (29) උදෑසන 07.12 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා, තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර ඔවුන් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.


