ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා එළැඹෙන 19 දින සිට 20 දින දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය.
එහිදී උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු බව සඳහන් වේ.
මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන මෑතකාලීන ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තවත් එක් ඉදිරි පියවරකි.
ඉන්දීය උප ජනාධිපතිවරයා මෙම සංචාරයේදී මෙරට දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවීම සඳහා සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇති බව සඳහන් වේ.
මෙම නිල සංචාරයේ විශේෂත්වයක් වන්නේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබීම බව දැනුම් දී තිබේ.
විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.
ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් මහතා සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතය.

