රාමසාන් දිනය වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිනියගෙන් සුබපැතුම්!

0
11
Two to tango: President Anura Kumara Dissanayake (left) and Prime Minister Harini Amarasuriya after the appointment of the new cabinet ministers | Getty Images

රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් මානුෂීය සහ සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන්නක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (21) යෙදී තිබෙන රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, රාමසාන් සමය යනු ලෝකයට ජීවනාදර්ශයෙන් මනුෂ්‍යත්වයේ පාඩම සහ සහෝදරත්වය කියාදෙන සැමරුමක් ලෙස තමා විශ්වාස කරන බවය.

ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කම බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මෙවර රාමසාන් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණදී සිටින අවස්ථාවක වන බැවින් මෙම තත්ත්වය කඩිනමින් පහව ගොස් සියලුදෙනා අපේක්ෂා කරන, සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරැකෙන, සාමය, සෞභාග්‍යය රැඳෙන සහජීවී ලෝකය බිහි වේවායි ප්‍රාර්ථනා කර බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ රාමසාන් දින පණිවුඩය..

අප රටේ පවතින විවිධත්වය අපට ශක්තියක් වන අතර රාමසාන් උත්සවයෙන් අපට උගන්වන සහෝදරත්වය සහ සහජීවනය යන පණිවුඩය, ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ධජයක් යටතේ නැගී සිටීමට අපව දිරිමත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

රාමසාන් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ, රාමසාන් සමය යනු හුදෙක් ආහාර පානවලින් වැළකී සිටීම පමණක් නොව ඉවසීම, කැපකිරීම සහ අනුන්ගේ දුක හඳුනාගැනීම වැනි උතුම් මානුෂීය ගුණාංග ජීවිතයට සමීප කරගන්නා කාලයක් බවය.

ආගමික සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරමින්, ජාතීන් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය මත රටේ තිරසාර සාමය සහ සමෘද්ධිය රඳා පවතින බවද එම නිවේදනයේ දැක්වෙයි.

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය වාතාවරණය හමුවේ ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු සමස්ත ජනතාව මුහුණ දී සිටින අතිශය දුෂ්කර හා වේදනාකාරී තත්ත්වය පිළිබඳව දැඩි සංවේගයක් පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිකුත් කළ රාමසාන් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here