ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආරක්‍ෂක දූත පිරිසක් ජපාන – ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගී වීමේ අරමුණින් ජපානයේ සංචාරයක නිරත වූ අතර, ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවමින් එම නිල සංචාරයේ කටයුතු පසුගියදා (මාර්තු 18) සාර්ථකව නිමාවට පත්විය.
ඊට සමගාමිව, ජපානයේ ටෝකියෝ හි ඉචිගායා දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රය තුළ පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ (NIDS) නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමට අවස්ථාව හිමි විය. ජපාන ආරක්‍ෂක අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන මෙම ආයතනය, එහි අභ්‍යන්තර විශේෂඥ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් ආරක්‍ෂක, උපායමාර්ගික සහ යුධමය කටයුතු සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පර්යේෂණ හා අධ්‍යාපනික කටයුතු සිදුකරයි. තවද, එම ආයතනය, පුළුල් වශයෙන් පර්යේෂණ පවත්වමින් එම පර්යේෂණ ඔස්සේ ලබාගන්නා නිගමන හා සොයාගැනීම්, ඉංග්‍රීසි සහ ජපන් යන භාෂා ද්විත්වයෙන්ම ප්‍රකාශයට පත් කරනු ලබයි.
මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකා දූත පිරිස ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සභාපති IMAKYUREI Manabu මහතා හමු වුහ. එහිදී, එම ආයතනයේ ඉතිහාසය සහ කාර්යභාරය පිළිබඳවත්, ජපානයේ විකාශනය වන ආරක්‍ෂක වපසරිය පිළිබඳවත් ශ්‍රී ලංකා දූත පිරිස වෙත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකරන ලදි. ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි. ජපාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය MIYAZAKI Masahisa මැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
තවද, මෙම සංචාරයට සමගාමිව, ශ්‍රී ලංකා දූත පිරිස ජපන් නාවික හමුදාවට අයත් ‘JS Maya – DDG-179’ නමැති නෞකාවේ නිල සංචාරයක ද නිරත වූහ. එම අවස්ථාවට ජපාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා, නාවික බලඇණි ආරක්‍ෂක බළකායේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් GOKA Yoshihiro සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද සහභාගී වූහ.
නෞකාවේ සංචාරය අතරතුර පැවැති සාකච්ඡාවලදී කොළඹ වරාය වෙත නෞකා පැමිණීම, නිල ආරක්‍ෂක සහයෝගිතා (Official Security Assistance – OSA) වැඩසටහන සහ අසමමිතික නාවික යුධ උපක්‍රම (Asymmetric Naval Warfare) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු අත්දැකීම් බෙදාහදා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ නාවික සහයෝගීතාව වර්ධනය කිරීම සහ පුළුල් සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු විය.

