ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

0
107

අද(09) දිනයේත් ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, දහවල් කාලයේදී ඇතැම් ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන සමහර ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

මේ අතර, දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දෙසින් හමයි.

දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං දිශාව වෙනස් විය හැකිය. සුළං වේගය පැයට කිලෝමීටර 20-30 ක් විය හැකිය. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා වැඩි විය හැක.

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට මධ්‍යස්ථ වේ. දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.