සදාම් සිට කමෙයිනි දක්වා… 

0
11

අධි නීතිඥ මාස් එල් යුසුෆ් එල් එල් බී ගෞරව විසිනි

අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතණය වුවන් මළවුන්’ යැයි නොකියන්න. මන්ද (ඔවුන්) ජීවමානය. නමුත් ඔබට (එය) නොදැනේ -කුර්ආනය 2:154

ලොව සෑම දෙනෙකු විසින්ම විශ්ෂිඨ පුද්ගලයෙකු යැයි එකසේ බුහුමන් ලැබු එකදු පුද්ගලෙයකුවත් ලොව පහළ වුයේ නැත. ගෞතම බුදුන් මෙන්ම මුහම්මද් තුමන් වැනි දේව පණිවිඩකරුවන් සේම ඇතැම් කොටස් දේවත්වයෙන් පුදන යේසුස්තුමන් වැනි චරිතවල ඉරණමද මෙයයි. මොවුන්ට ගරු කළ මෙන්ම ගැරහු අයද සිටියහ, සිටිති.

2006 දෙසැම්බර් 30 වන දින ඉරාක ජනාධිපති සදාම් හුසේන් එල්ලා මරා දමන ලද අතර එයට ශෝකය පළ කළවුන් මෙන්ම ප්‍රිතිඝෝඝා නැගු අයද සිටියහ. සදාම් එසේ එල්ලා මරණ ලද්දේ, එක්සත් ජනපදය විසින් ඉරාකයේ පිහිටුවන ලද විශේෂ විනිශ්චය සභාවක් විසින් ඔහු මනුෂ්‍යත්වයට එරෙහිව දරුණු අපරාධ සිදුකළ කෙනෙකු යැයි තීරණය කිරීමෙන් අනතුරුවය. එනමුත් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය මෙන්ම හියුමන් රයිට්ස් වොච් වැනි මානව හිමිකම් සංවිධාන විසින් එම විනිශ්චය සභාව දැඩි ලෙස විවේචනය කරන ලදී. වැරදිකරු එනම් සදාම්ට සිය තර්කය ඉදිරිපත් කිරීම සඳහා නෛතික පහසුකම් ප්‍රමාණවත් ලෙසින් ලබා නොදෙන ලද අතර, නඩු කටයුතු කඩිනම් කරමින් විනිසුරුවරුන්ට දේශපාලන පීඩනය ලබා දීම නිසා එම නඩු තීන්දුවෙහි පැහැදිලිවම සාධාරණත්වයක් හෝ ස්වාධීනත්වයක් දක්නට තිබුනේ නැත. ඒ අනුව සදාම් හුසේන්ගේ මරණ දඬුවම නීතිමය තීන්දුවක්ද නැත්නම් බටහිර හොලිවුඩ් පන්නයේ මිනීමැරුමක්ද යන කරුණ තවමත් විවාදයට විවෘතම පවතී.

ඇමරිකා එක්සත් ජනපදය සැමවිටම මුහුණු දෙකක් ලොවට පෙන්වන බව මෙහි සඳහන් කළ යුතුමය. ඉරානය සමඟ පවතින ගැටුමේදී ඊශ්‍රායලය සමඟ උරෙන් උර ගැටී සිටින එක්සත් ජනපදය ඊශ්‍රායේලය සමූලඝාතන, ජාත්‍යන්තර මානුෂීය නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීම මෙන්ම බලහත්කාරයෙන් පලස්තීන භූමි ප්‍රදේශ අත්පත් කරගැනීම ආදි යුද අපරාධ සහ ජගත් නීති උල්ලංඝණය කිරීම් විෂයයෙහි ඇමරිකාව නිහඬය. එසේම විරෝධතාකරුවන් මර්දනය කිරීම විෂයයෙහි ඉරානයට චෝදනා නගන ඇමරිකාව නෙතන්යාහු ගාසාවේ සිදුකරන කුරිරු ජන සංහාරයට පුර්ණ සහය ලබා දෙයි.

2026 පෙබරවාරි 28 එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ඉලක්කවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී. මෙම මහා පරිමාණ ප්‍රහාර මාලාවේදී, ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අලි කාමෙයිනි මිය ගියේය. ඔහු 1989 සිට ඉරානයේ දෙවන උත්තරීතර නායකයා විය. ඔහු මෙයට පෙර ඉරානයේ ජනාධිපතිවරයා ලෙසද තේරී පත් වූ අතර වාර දෙකක් (1981-1985 සහ 1985-1989) එම තනතුර හෙබවුයේය. එම අවස්ථා දෙකේදීම ඔහු 95% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. 1989 ජුනි මාසයේදී ඉරාන විප්ලවෙයේ පියා වන අයතුල්ලා රුහුල්ලා කොමේනිගේ මරණයෙන් පසු, විශේෂ සභාවක් විසින් කාමෙයිනි උත්තරීතර නායකයා ලෙස තෝරා පත් කරන ලදී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු විසින් කරන ලද නොමඟ යවන, පැහැදිලිවම අසත්‍ය ප්‍රකාශයන්ට පටහැනිව, ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායකය කාමෙයිනි ඒකාධිපතියෙකු නොවන බව මෙයින් පැහැදිලි වෙයි.

මා ඉහත සඳහන් කළා සේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ටත් විවේචකයින් සිටියාක් මෙන්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අලි කාමෙයිනිද දෙස් විදෙස් විවේචනයට ලක් විය. අලි කාමෙයිනිගේ මරණය පිළිබඳ පුවත තහවුරු වූ පසු, ප්‍රිතිඝෝෂා සේම ශෝක සැමරුම්ද තිබුණි. මෙයින් ප්‍රීති ඝෝෂාවලට පමණක් සිරිත් පරිදි බටහිර මාධ්‍යය වැඩි ආවරණයක් ලබා දුන්නේය. ඉරාන හිතවාදී සහ යුද විරෝධී කණ්ඩායම් විසින් ඉරානයට පහර දීම සහ කාමෙයිනි ඝාතණය හෙළා දකිමින් සහ ඉරානයෙහි මෙන්ම එක්සත් ජනපදය, යුරෝපය, මැදපෙරදිග, පකිස්තානය, ඉන්දියාව ඇතුලු බොහෝ රටවල විරෝධතා පැවැත්වුහ. පාකිස්තානය වැනි ඇතැම් රටවල විරෝධතාකරුවන් විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලවලට පහරදුන් සිද්ධීන්ද වාර්තා විය.

නියම මුස්ලිම්වරයෙකුට යුක්තිය සහ දහම වෙනුවෙන් දිවි පිදීම භාග්‍යයකි. එය වනාහි එළොව ඉහළතම කුසල් ලැබිය හැකි පරිත්‍යාගයකි. කුර්ආනය පැහැදිලිවම පවසන්නේ එවැනි පුද්ගලයෙකු මිය ගියේය යැයි නොකියන ලෙයසි. මෙය මිනිස් අවබෝධය ඉක්මවා යන ඉහළ තලයක තත්වයකි. එය පාරභෞතික ක්ෂේත්‍රය තුළ පමණක් පවතින සිතාගත නොහැකි සහ වචනයෙන් විස්තර කළ නොහැකි තත්වයකි.

මෙම තත්වය බුදුන්රජාන්න වහන්සේ අත් කර ගත් කරගත් පරනිර්වාණ තත්ත්වය හා සමානය. එය සාමාන්‍ය ඉන්ද්‍රිය ක්‍රමවලින් සංජානනය කළ නොහැකි හෝ ද්‍රව්‍යමය ජීවියාට පංච සමූහ (ස්කන්ධ) – ස්වරූපය, හැඟීම, සංජානනය, මානසික ගොඩනැගීම සහ විඥානය මගින් දැකිය නොහැකි කිසිවක් නොමැතිකමට (නිවා දැමූ) මඟ පෙන්වන තත්ත්වයකි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය ලබා ගැනීමට කැමති ඕනෑම මිනිසෙකුට එම මාර්ගය කරා යාමට උත්සාහ කළ හැකි අතර නිර්වාණය සහ පරනිර්වාණ සංසිද්ධිය අත්විඳිය හැකිය. බුදුරදුන් මෙම තත්ත්වය, ”නූපන්, කොන්දේසි විරහිත, මරණ රහිත” යනාදි ලෙසින් ව්ස්තර කර වදාළහ.

ඉහත බෞද්ධ විග්‍රහය මරණින් පසු ජීවිතය පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් එකසමානව පිළිබිඹු නොකළද, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදු පසු හිමිවන ජීවිතය පිළිබඳ යම් අදහසක් ලබා දීම සඳහා මා මෙය සඳහන් කළෙමි.

මරණය සියලු මිනිසුන්ට නොවැළැක්විය හැකි සිදුවීමකි. එනමුත් සියලුම මරණ එක හා සමාන නොවේ. අසනීප නිසා සිදුවන මරණ සේම යම් අරමුණක් සඳහා දිවි පිදීමද ඒ අතර ඇත. පළමුවැන්න සඳහා පිළිකා, වකුගඩු හෝ ශ්වසන අකර්මණ්‍ය වීම ආදිය සඳහන් කළ හැකිය. දෙවැන්න අතර රට දැය වෙනුවෙන් යුධ පිටියේ දිවි පිදීම, අන් අයව ආරක්ෂා කිරීමේදී මිය යාම ආදිය සඳහන් කළ හැකිය.

ඉස්ලාමය අනුව අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමට සුවිශේෂි අර්ථයක් ඇත. මරණය සාමාන්‍ය මරණයක් සහ ජීවිත පරිත්‍යාගයක් ලෙසින් වර්ග කළ හැකිය. ඉස්ලාමයෙහි යහපත් අරමුණක් වෙනුවෙන් හෝ අයුක්තියට, කුරිරු පාලනයකට එරෙහි වී ජීවිතය පරිත්‍යාගය කිරීම සඳහා හිමිවන්නේ සුවිශේෂී ගෞරවයකි.

අලි කාමෙයිනි වැනි ධාර්මික චරිතයක් අසනීපයෙන් හෝ මහලු වියෙන් රෝහල් ඇඳේ මිය යාමට වඩා දැය හා යුක්තිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම වඩාත් ආශා කරනු නියතය. පීඩනයට සහ අසාධාරණ ආක්‍රමණයට එරෙහිව දිවි පිදු කල එය වෙනස් මරණයකි. සමස්තයක් ලෙස ඉරාන ජාතියට එය විශාල පාඩුවක් වුවද, තනි පදනමක් මත ඔහු ෂහීද් හෙවත් සත්‍යය වෙනුවෙන් ජීවිතය පිදු උසස් තනතුරු හිමිකර ගනියි. එය නියම විශ්වාසිකයෙකුගේ ඉහළතම පැතුමයි. ඒ අනුව දැනට එළොව පවතින කාමෙයිනිගේ ආත්මය පවා මෙවන් අවසානයක් ඔහුගේ ලෞකික සිරුරට හෙවත් ජීවිතයට හිමි වීම ගැන සතුටු වනවා නිසැකය. යුදෙව්වන්ගේ කුරිරුකම් නිසා ගාසාවෙහි මිය ගිය සෑම කෙනෙකුගේම තත්ත්වය මෙයයි.

සත්‍යය වෙනුවෙන් දිවි පිදු ෂහීද්වරුන්ට දිව්‍ය කන්‍යාවන් 72 දෙනෙකු හිමිවන බවට ඉස්ලාමය පවසන දෙය බොහෝ විට සමච්චලයට ලක්වනු දැකිය හැකි අතර මෙය ගැන යමක් සඳහන් කිරීම ප්‍රයෝජනවත් යැයි සිතමි. කුර්ආනයෙහි දිව්‍ය කන්‍යාවන් 72 ක් ගැන කොහෙත්ම සඳහන් වී නැත. සදාකාලික සතුට, පහළින ගංගා ගලා යන උද්‍යාන, අධ්‍යාත්මික සතුට යන අර්ථෙයන් ස්වර්ගය කුර්ආනයෙහි විස්තර කර ඇත. බුදුරජානන් වහන්සේ පරනිබ්බානය ”නූපන්, කොන්දේසි විරහිත, මරණයක් නැති” ලෙස විස්තර කළාක් මෙන්. ස්වර්ගයේ උපතක් හෝ මරණයක් නොමැත. එය වචනවලින් විස්තර කළ නොහැකි තත්වයකි.

කාමෙයිනි නම් වන විශිෂ්ඨ චරිතයේ ගෞරවය සැලකිල්ලට ගෙන, ඉරාන ඉස්ලාමීය ජනරජයේ එම උත්තරීතර නායකයාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය ශෝකය ප්‍රකාශ කළ යුතු අතර, රාජ්‍ය නායකයෙකු ඝාතනය කිරීමද හෙළා දැකිය යුතුය. කාමෙයිනි මිය ගියේ අතේ කඩුවක් අතැතිව නොව, ශක්තිමත් කොඳු ඇට පෙළක් සහිතව බව පෙනී ගොස් ඇත. ට්‍රම්ප් වැනි දූෂිත, ආධිපත්‍යවාදී, අධිරාජ්‍යවාදී බලවතෙකුට එරෙහිව ස්ථිරව සිටීමේ නිර්භීතකම සහ ධෛර්යය කාමෙයිනිගේ මරණය සංකේතවත් කරයි.

එක් ප්‍රශ්නය ඉතිරිව පවතී: අපගේ රජය කාමෙයිනි වැනි උතුම් පුද්ගලයෙකුගේ ජීවිතය හා විරෝධාර මරණයෙන් ආදර්ශ ලබනු ඇතිද යනු ඒ ප්‍රශ්නයි.

(අධිනීතිඥ මාස් එල් යුසුෆ් (ගෞරව) ලන්ඩන් සමාගමික සහ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here