මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.
හියුගෝ පවෙල් ‘Hugo Powell’ නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී ලන්ඩනයේ ‘ක්වීන් චාලට් සහ චෙල්සි’ රෝහලේදී සිසේරියන් සැත්කමක් මඟින් මෙලස උපත ලබා ඇත.
උපතේදී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල්, උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන Mayer-Rokitansky-Kuster-Hauser නමැති දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි.
යොවුන් වියේදීම තමන්ට කිසිදා මවක් විය නොහැකි බව ඇය දැනගත් බවත් එදින රෝහල් වැසිකිළියක් තුළට වී හඬා වැටුණු බවත් ඇය ඉතා සංවේදී පවසා ඇත.
මෙම අසීරු ගමන පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය:
“මේක ආශ්චර්යක්. මම කවදාවත් හිතුවේ නැහැ මෙය කළ හැකි වෙයි කියලා. මගේ ජීවිතයේ සතුටුම දවස අදයි.”
මෙම දරු උපත සඳහා ගර්භාෂය ලබා දී ඇත්තේ මියගිය තරුණියක විසිනි. ඇයගේ ගර්භාෂයට අමතරව තවත් අවයව 5ක් පුද්ගලයන් සිව්දෙනෙකුට බද්ධ කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වී ඇති බව සඳහන් වේ.
තමන්ට මව් පදවිය ලබාදීමට මූලික වූ එම නාඳුනන දායකයා සහ ඇයගේ පවුලේ අය පිළිබඳව ග්‍රේස් බෙල් මහත් ගෞරවයෙන් සිහිපත් කර තිබේ.

