සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී යාම පිළිබඳව වාර්තා වීමත් සමඟ ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා පාකිස්තානු රජයට ඉල්ලීමක් කිරීමට සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණ ඇතුළු මෙරට මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් භාර දීමට නියමිතය.
හිටපු පාකිස්තාන නායක සහ ජාත්‍යන්තරව කීර්තිමත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ පෙනීමේ ගැටළු ඇතුළු බරපතල සෞඛ්‍ය සංකූලතාවන්ගෙන් පෙළෙන බවට වාර්තා පළ කිරීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙක් කතාබහ කරමින් තිබේ.
ශ්‍රී ලංකා රජය බලපෑම් වලට ලක්ව තිබූ විවිධ අවස්ථාවන් වල ශ්‍රී ලංකාව වෙනුවෙන් සහය පල කර ඇති හිටපු පාකිස්තාන නායකයා පසුගිය COVID-19 වසංගතය අතරතුර, විශේෂයෙන් COVID-19 වින්දිතයින්ගේ ආදාහනය අනිවාර්ය කර මතභේදාත්මක තත්ත්වයක් රට තුළ ක්‍රියාත්මක වූ අවස්ථාවේදී , ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට ඔහු ලබාදුන් සහයෝගය අමතක කළ නොහැකි බව එම ලිපියේ දැක්වේ.
ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍රවලට අනුකූලව මුස්ලිම් ජනාසා පැවැත්වීමට අවසර දෙන ලෙස එවකට ශ්‍රී ලංකා රජයට ආයාචනා කළ ජාත්‍යන්තර නායකයින් කිහිප දෙනා අතර හිටපු පාකිස්තාන නායක ඉම්රාන් ඛාන් ද විය.ඔහු ඇතුළු කණ්ඩායමේ මැදිහත්වීම නිසා ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කර ඊට සාධාරණ විසඳුමක් ලබාදීමට දායක වූ බව මෙම ලිපියෙන් පෙන්වා දෙයි.
දේශපාලනික වශයෙන් නොව මානුෂීය ලෙස තම ආයාචනය ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන සහෝදර සබඳතා මත පදනම් වූ නිසා මේ සම්බන්ධයෙන් පාකිස්තානු රජයෙන් ඉල්ලීමක් කිරීම ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ප්‍රජාවගේ යුතුකමක් බවත් එහි දැක්වේ.
වත්මන් ශ්‍රී ලංකා රජය පාකිස්තානය සමඟ ඉතා සුහදව කටයුතු කරන අවස්තාවක මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ජනධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද ඔවුන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව මෙම ලිපිය මෙරට සියළු සිවිල් සමාජ සංවිධාන වල අත්සනින් යුතුව පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දීමට සූදානම් බව සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණු සංගමයේ සභාපති එම්.එන්.එම්. ෂාම් නවාස් මහතා පවසයි.

