උතුම් වූ රමළාන් මාසය නිමිත්තෙන් සවුදි අරාබි රාජධානිය විසින් ශ්රී ලංකාවට පරිත්යාග කරන ලද රටඉඳි මෙට්රික් ටොන් 50 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය, ශ්රී ලංකාවේ සවුදි තානාපති කාලිද් බින් හමුද් අල්-කහ්තානි මහතාගේ මුලිකත්වයෙන් අද පස්වරුවේ (16) කොළඹ පිහිටි සවුදි තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්යස්ථානය (KSrelief) මගින් ලබාදුන් මෙම රටඉඳි පරිත්යාගය ආගමික සහ සංස්කෘතික නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතා විසින් ලබාගත් අතර, මෙම අවස්ථාවට නියෝජ්ය කථානායක රිස්වි සාලි මහතා, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා, සව්දි සහන මධ්යස්ථානයේ (KSrelief) නියෝජිත මහතා, මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, මෙන්ම එම අමාත්යාංශයේ උසස් නිලධාරීන්, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සභාපති සහ මහලේකම් ඇතුළු ආගමික නායකයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතා සඳහන් කළේ, සවුදි අරාබි රාජධානිය සහ ශ්රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය මෙම පරිත්යාගය තුළින් තවදුරටත් තහවුරු වන බවයි. රමළාන් සමයේ මෙරට මුස්ලිම් ජනතාව වෙත සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්යස්ථානය දක්වන මෙම සහයෝගය අගය කරන බවත්, ඉදිරියේදී මෙම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම රටඉඳි තොගය දිවයින පුරා විසිරී ඇති මුස්ලිම් දේවස්ථාන හරහා අවශ්යතා සහිත පවුල් වෙත බෙදා හැරීමට නියමිතය.


