විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

0
5

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 වර්ෂය සඳහා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරඟ අතිසාර්ථක සහ සුරක්‍ෂිත ලෙස පවත්වාගෙන යාම සහතික කරනු පිණිස, ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් පුළුල් වූත්, බහුවිධ වූත් ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර සිටියි.

මෙම තරඟාවලියේ පවතින ජාත්‍යන්තර වැදගත්කම මෙන්ම ලොව පුරා විවිධ රටවලින් පැමිණෙන ක්‍රීඩකයින්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිස සැලකිල්ලට ගනිමින්; ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් සැකසූ ඒකාබද්ධ ආරක්‍ෂක සැලැස්මක් මෙම අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කර ඇත.

සියලුම තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන, කණ්ඩායම් රැඳී සිටින හෝටල්, පුහුණු මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ නම් කරන ලද ප්‍රේක්ෂක කලාප සඳහා විශේෂ ආරක්‍ෂක විධිවිධාන යොදවා ඇත. තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව පුරාම සුරක්‍ෂිත පරිසරයක් සහතික කරනු පිණිස විසිහතර පැය පුරා ක්‍රියාත්මක ආරක්‍ෂක පද්ධති, ප්‍රවේශ පාලන ක්‍රියා පටිපාටි, වාහන පරීක්‍ෂා කිරීමේ ස්ථාන සහ ප්‍රේක්‍ෂක හැසිරවීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලැබේ.

සහභාගී වන කණ්ඩායම්, සංවිධායකයින් මෙන්ම සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා සමීප ආරක්‍ෂාව සැපයීමට විශේෂ ආරක්‍ෂක ඒකක යොදවා ඇත. CCTV නිරීක්‍ෂණ සහ තත්කාලීන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය ඇතුළු ආවේක්‍ෂණ පද්ධති හරහා, පවතින තත්ත්වයන් නිරීක්‍ෂණය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කෙරේ.

එසේම, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ගුවන් අවකාශය පිළිබඳ නිරීක්‍ෂණ කටයුතු ද ඉහළ නංවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වෛද්‍ය ඒකක ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇත.

තරඟාවලියේ උත්සවශ්‍රීය ආරක්‍ෂා වන පරිදි මහජන සාමය සහ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වෙයි.

ආරක්‍ෂක නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ක්‍රීඩාංගණ මාර්ගෝපදේශ පිළිපදින ලෙසත්, ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳව බලධාරීන් දැනුවත් කරමින් මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සහාය වන ලෙසත්, අමාත්‍යාංශය ප්‍රේක්ෂකයින් ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉහළ වෘත්තීය මට්ටමකින් සහ විශිෂ්ටත්වයෙන් යුතුව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව විදහා දක්වමින්, සුරක්‍ෂිත පරිසරයක අමතක නොවන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් නැරඹීමට අවකාශය ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කැපවී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here