බංග්ලාදේශයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය බහුතරයක් දිනා ඇති බවත් ඔවුන් ඊළඟ රජය පිහිටුවන බවත් තාරික් රහ්මාන්ගේ බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) පවසයි.
බංග්ලාදේශ මැතිවරණ කොමිසම විසින් නිල ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැනමුත් නිල නොවන ප්‍රතිඵල උපුටා දක්වමින් එරට මාධ්‍ය පවසන්නේ BNP සහ එහි අපේක්ෂකයින් ආසන 299 න් 211 ක් දිනා ගෙන ප්‍රතිවාදී ජමාත්-ඊ-ඉස්ලාමි සන්ධානය ආසන 70 ක් දිනා ගත් බවයි.
ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ප්‍රධානී ෂෆිකුර් රහ්මාන් පවසා ඇත්තේ තම පක්ෂය මැතිවරණ ප්‍රතිඵලවලට ගරු කරන බවයි.
2024 වසරේ බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව එරට පැවැත්වූ පළමු මහ මැතිවරණය ඊයේ (12) අවසන් විය.
නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.
ඒ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.
කෙසේ නමුත් ධුරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණි.

