ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

0
9

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි රාජ්‍යයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, Abdulrahman bin Ayyaf Al-Muqrin කුමරු අතර ද්විපාර්ශ්වික හමුවක් පසුගියදා සවුදි රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර, සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට ගිය නිල සංචාරය අතරතුරදී මෙම හමුව පැවැත්විණ.

එහිදී දෙපාර්ශ්වයේ නිලධාරීන් දෙරට අතර පවතින සුහදශීලී ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කළ අතර, ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ දිගුකාලීන සබඳතා වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කළහ.

එහිදී වසර ගණනාවක් පුරාවට සෞදි අරාබිය විසින් ලබා දුන් සාර්ථක සහයෝගීතාව අගය කළ ශ්‍රී ලංකා දූත පිරිස, එම සහයෝගීතාව ඉදිරියටත් අඛණ්ඩව ලබා ගැනීම පිළිබඳ අපේක්‍ෂා පළ කළේය. දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර සම්බන්ධ හමුදා පුහුණු අවස්ථා පුළුල් කිරීම, වෘත්තීයමය හුවමාරු වැඩසටහන් සහ ව්‍යුහාත්මක දැනුම බෙදාහදා ගැනීමේ මුලපිරීම් පිළිබඳව ද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness) ඉහළ නැංවීම සහ සමුද්‍රීය ආරක්‍ෂාවේ ඇති උපායමාර්ගික වැදගත්කම පිළිබඳ දෙපාර්ශවයම පිළිගත්හ. තවද, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය කිරීම වැනි දේශසීමා ඉක්මවා යන තර්ජන පිළිබඳව ඔවුන් සිය අන්‍යොන්‍ය සැලකිල්ල යොමු කළ අතර, මෙම අභියෝගවලට එරෙහිව වඩාත් ඵලදායී ලෙස සටන් කිරීම සඳහා ද්විපාර්ශ්වික සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද එකඟතාවන්ට එළඹෙන ලදි.

තවද, නියමුවන් රහිත ගුවන් යානා (UAVs) භාවිතය, නිරවද්‍ය බුද්ධි තොරතුරු පද්ධති සහ නිරික්‍ෂණ හැකියාවන් ඇතුළු නූතන ආරක්‍ෂක තාක්‍ෂණික ක්‍රමවේද සහ විකාශනය වන මෙහෙයුම් සංකල්ප පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය. ආරක්‍ෂක ක්ෂේත්‍රයේ නවීන ත‍ාක්‍ෂණික දියුණුව සමඟ සමගාමීව ඉදිරියට ගමන් කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කළහ.

මීට අමතරව, දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව ආයතනික මට්ටමින් ස්ථාපිත කිරීමේ අරමුණින්, ද්විපාර්ශ්වික ආරක්‍ෂක සාකච්ඡා හෝ මාණ්ඩලික සාකච්ඡා (Staff Talks) සංවිධානය කිරීම සහ ව්‍යුහාත්මක ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා පවත්වන ලදි.

ආපදා සහන සහ මානුෂීය ආධාර සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු සාකච්ඡා විය. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව අතර සහයෝගීතාව තුළින් ආපදා ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ආපදා සඳහා පෙර සූදානම මෙන්ම සමස්ත ක්‍රියාවලියේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා මෙහෙයුම් අවශ්‍යතා හඳුනා ගැනීම පිළිබඳව දෙපාර්ශවයම කරුණු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව සහ සවුදි අරාබිය අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමට සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඇති කැපවීම පිළිබඳ දෙපාර්ශ්වයම නිලධාරීන් විසින් යළි තහවුරු කරමින් මෙම හමුව සාර්ථකව අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here