කෙටි සිනමාපට 4ක් 29 වනදා මහරගම Amity Lite සිනමාශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.

0
7

වර්ෂ 1895, ප්‍රංශයේ දී ලුමියර් සොහොයුරන් විසින් ප්‍රථම වතාවට පුළුල් තිරයක් මතින් ප්‍රේක්ෂකාගාරයක් වෙත කෙටි සිනමාපට ශ්‍රේණියක් පෙන්වීමෙන් ඇරඹුණු ලෝක සිනමාව යුග ගණනාවක් පසු කර ඉදිරියට පැමිණ ඇත.

ඊට අනුරූපව ලාංකීය සිනමාවද විකසනය වී අද පවතින හැඩය අත්කරගෙන සිටියි. එහි තවත් පරිච්ඡේදයක් අරඹමින් තරුණ සිනමාකරුවන් හතරදෙනෙක් නවමු පියවරකට සැරසේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්‍යාර්ථයින් තිදෙනෙක් සමග කැළණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී උපාධි පාඨමාලාවේ විද්‍යාර්ථයෙක් ගෙන් සුසැදි මෙම සිව් දෙනා කෙටි චිත්‍රපට හතරක් නිර්මාණය කර ඇත. මොවුන් නමින් සංජීව පෙත්තාවඩු , බුවිනාත් අමුගොඩ, අර්චිණී හීන්දෙණිය සහ සොඳුරු ලොකුපෝතාගමය. ඔවුන් ගේ චිත්‍රපට පිළිවෙලින් Behind the Welcome, Replica, Mystic Clouds සහ The Mask ය.
මින් Behind the Welcome සිනමාපටය 14th Pune Short Film Festival 2024 හි සහ Kuala Lampur International Film Festival 2023 හි නිල තෝරාගැනීමට ලක්ව ඇත. තවද The Mask සිනමාපටය NSBM Youth Film Festival 2023 හි හොඳම තිරපිටපත ට සහ Jaffna International Cinema Festival 2024 හි නිල තෝරාගැනීමට ලක්ව ඇත.
ශානර හතරක් ඔස්සේ නිර්මාණය කර ඇති මෙම සිනමාපට හතරෙහි රංගනය සදහා පුබුදු චතුරංග, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණී ඉද්දමල්ගොඩ, ජගත් චමිල, චුලක්ෂි රණතුංග, සුලෝචනා වීරසිංහ, ජයනාත් බණ්ඩාර, උපේක්ෂා ස්වර්ණමාලී සහ රුවන් වික්‍රමසිංහ යන ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වී ඇත.
මෙම සිනමාපට හතර දෙසැම්බර් මස 29 වන දින සවස 4.00 ට මහරගම Amity Lite සිනමාශාලාවේදී තිරගත වීමට නියමිතය.
සම්භාවනීය ආරාධිත අමුත්තන්ගෙන් සුසැදි ප්‍රේක්ෂකාගාරයක් හමුවේ ආරාධිත දේශනය සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්ෂණික හා මාධ්‍ය අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සමීර තිලකවර්ධන විසිනි.

මෙම ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය සපයන්නේ Movie Works (Pvt) Ltd. ආයතනයට අනුබද්ධිත සුප්‍රකට Lite සිනමාශාලා ජාලයයි.

කෙටි චිත්‍රපටයේ කලාත්මක මෙන්ම වාණිජමය ශක්‍යතාවය විදහා දැක්වෙන අයුරින් සිදුකරන ව්‍යාපෘතියක ප්‍රථම අදියර වන මෙය ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට දායක වන වැදගත් පියවරක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here