NEWSNOW | – පසුගියදා පැවැති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම නිවේදනයක සඳහන්ව ඇත්තේ ආපදාවෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,568ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය.
එමෙන්ම එම දිස්ත්‍රික්කයේ නිවාස 14,111ක් අර්ධ වශයෙන්ද හානි සිදුව ඇත.
දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 3,742ක් අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
තෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 627ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 20,813ක් අර්ධ වශයෙන්ද හානි සිදුව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති එම වාර්තාවේ සඳහන්ව තිබේ.
එමෙන්ම පිළිවෙළින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 594ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 578ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 317ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 234ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 225ක්ද පැවැති ආපදාවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.
මේ අතර ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 86,147කට අයත් පුද්ගලයින් 330,443ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 80,375කට අයත් පුද්ගලයින් 287,364ක් ද, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 54,716කට අයත් පුද්ගලයින් 171,127ක්ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 27,234කට අයත් පුද්ගලියින් 90,140ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 26,474කට අයත් පුද්ගලයින් 88,899ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 23,704කට අයත් පුද්ගලයින් 77,694ක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 23, 324කට අයත් පුද්ගලයින් 83,482ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 22,562කට අයත් පුද්ගලයින් 74,084ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22,257කට අයත් පුද්ගලයින් 73,547ක්ද රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 19,092කට අයත් පුද්ගලයින් 74,277ක්ද ආපදාවෙන් වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක ලෙස වාර්තා වී ඇත.
එමෙන්ම පැවැති ආපදාවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 640ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

