NEWSNOW | – නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය විසින් පවත්වනු ලබන “ජනනි” දෙවන අදියරේ පළමු වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ප්‍රදේශයේ Golden Pearl උත්සව ශාලාවේදී අද (26) ආරම්භ කෙරුණි. ජනනි තේමාව යටතේ Caffe සංවිධානය විසින් 2021 – 2022 වසර වල සිට දිස්ත්‍රික්ක 15 මුල්කර ගෙන මෙම ජනනි වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහි දෙවන අදියර පසුගිය සතියේ මාතලේ දිස්ත්‍රික්කයේ පවත්වන ලද අතර අද(26) දින මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ප්‍රදේශයේ තවත් වැඩසටහනක් පවත්වනු ලැබීය. එසේම අනෙකුත් දිස්ත්‍රික්ක වලද මෙම වැඩසටහන ඉදිරියට පැවැත්වීමට සූදානමින් සිටියි. ජනනි වැඩසටහන යටතේ කාන්තා මහජන නියෝජිතවරියන්ගේ ඩිජිටල් සාක්‍ෂරතාවය සහ මාධ්‍ය සාක්‍ෂරතාවය පිළිබඳව දැනුවත් කෙරේ. අද දින ගම්පොළ ප්‍රදේශයේ මෙහි හඳුන්වාදීමේ වැඩසටහනක් පැවති අතර තවත් මාසයකින් මෙහි දෙවන වැඩසටහනද ඉන්පසු තවත් මාසයකට පසු තෙවන වැඩසටහනද ක්‍රියාත්මක කිරීමට කැෆේ සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටියි.
අද දින සම්පත් දායකයින් ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මධ්‍යම පළාත් විමර්ශන නිලධාරී (මාතලේ සහ නුවර භාර ) අනුරාධා මහත්මිය සහභාගී වී සිටිති. මේ සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් සියළුම පළාත් පාලන ආයතන වල කාන්තා මහජන නියෝජිතවරියන් සහභාගී වී සිටිති. එමෙම වැඩසටහන සංවිධානය කිරීමට කැෆේ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉරේෂා උදේනි මහත්මියද ඉතා හොඳ සහයෝගයක් ලබා දුන්නේය.
අද දින මෙම හඳුන්වාදීමේ වැඩසටහනේ දී අදහස් දැක්වූ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පැවසුවේ මෙරට දේශපාලනයේ නිරත වන කාන්තාවන් බහුතරයකට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අවම දැනුමක් පවතින බවට හඳුනාගත් බවයි. ඒ අනුව ඔවුන්ට එම දැනුම සහ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැනුමක් ලබාදීම අරමුණු කරගෙන මෙම ජනනි වැඩසටහන දිස්ත්‍රික්ක 15 ක්‍රියාත්මක කරන බවයි.