12 වන Beijing Xiangshan සමුළුවේදී ආරක්‍ෂක ලේකම්වරයා කලාපීය සංවාදය ප්‍රවර්ධනය සහ චීන-ශ්‍රී ලංකා සහයෝගිතාවේ වැදගත්කම අවධාරණය කරයි.

0
2

NEWSNOW | – චීනයේ පැවති 12 වැනි Beijing Xiangshan සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගෝලීය හා කලාපීය ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණදීම සඳහා සාමූහික සංවාදයේ, කලාපීය සහයෝගීතාවයේ සහ අන්‍යොන්‍ය ගෞරවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

“සංවාද සහ සාකච්ඡා තුලින් කලාපීය සාමය ගොඩනැගීම” යන තේමාව යටතේ සමුළුව ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, “සෑම රටකම නීත්‍යානුකූල ආරක්‍ෂක අපේක්‍ෂාවන් අප සියලු දෙනා ඉතා බැරෑරුම් කොට සැලකිය යුතුයි, පුළුල් සංවාද සහ සාකච්ඡා ඔස්සේ රටවල් අතර පවතින විෂමතා සහ මතභේද සාමකාමීව විසඳා ගැනීම ප්‍රවර්ධනය කළයුතු අතර, මෙවැනි විවෘත කලාපීය සංවාද තුලින් කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය ස්ථාවරව ඉදිරියට ගෙන යා යුතුයි” යනුවෙන් ප්‍රකාශ කළේය. 12 වැනි Beijing Xiangshan සමුළුව පසුගිය සැප්තැම්බර් 17 දින සිට 19 දින දක්වා චීනයේ බීජිං ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

තවද, මෙම උසස් රාජ්‍යතාන්ත්‍රික ආරක්‍ෂක සංවාදයට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් චීන රජයට සිය කෘතඥතාව පළකල ආරක්‍ෂක ලේකම්වරයා, විශේෂයෙන් ආසියා-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ සංවාදය පෝෂණය කිරීම සඳහා මෙම සමුළුව වැදගත් වේදිකාවක් සපයන බව ද ප්‍රකාශ කළේය.

“සියලු ජාතීන්ගේ නීත්‍යානුකූල හා අනන්‍ය වූ ආරක්‍ෂක අපේක්‍ෂාවන්ට ගරු කරමින් සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගත යුතුය” යනුවෙන් චීන ජනාධිපති Xi Jinping මහතා විසින් සිදුකළ ප්‍රකාශය උපුටා දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, සැබෑ සාමය සාක්ෂාත් කරගත හැකි වනුයේ ගැටුම් අවසන් කිරීමෙන් පමණක් නොවන බවත්, ඵලදායි සංවාද, අන්‍යොන්‍ය අවබෝධය සහ නිර්මාණාත්මක ප්‍රවේශයන් ඔස්සේ ලබා ගන්නා සම්බන්ධතා තුළින් බවත් දැක්වූයේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම ඉස්මතු කල ආරක්‍ෂක ලේකම්වරයා, ඉන්දියානු සාගර කලාපීය වඩාත් සාමකාමී, සහයෝගීතාවයෙන් යුතු, විවෘත සහ ගැටුම්වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සහතික කිරීමට ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම පිළිබඳව ද යලිත් අවධාරණය කළේය.

ආසියානු කලාපයේ රටවල් හා බටහිර රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ඇතිකිරීමටත්, ආර්ථිකමය සහ සංස්කෘතිකමය සංවාදය සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් සාමය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වේදිකාවක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බව ද, ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

වසර හැත්තෑවකට අධික කාලයක් පුරාවට විශ්වාසය, අන්‍යොන්‍ය ගෞරවය සහ හවුල්කාරිත්වය මත ශ්‍රී ලංකාව සහ චීනය අතර ගොඩනැගුණු දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීම සඳහා චීන රජය විසින් ලබා දුන් අඛණ්ඩ සහයෝගය මෙන්ම විශේෂයෙන්ම හමුදා පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන රජය ලබා දුන් දායකත්වය ද ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.

“ජාතීන් අතර විෂමතාවන් ඇතිවීම වැළක්විය නොහැකිය. නමුත්, එම මතභේද කිසි විටෙකත් ගැටුම් දක්වා වර්ධනය නොවිය යුතුයි. එවැනි අවස්ථාවන්හිදී ඉදිරියට යා හැකි එකම තිරසාර මාර්ගය වනුයේ ඵලදායි සංවාද සහ සාකච්ඡාවන් පමණයි” ‍යනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය. ඊට අමතරව, කලාපීය ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ අනාගත කැපවීම පිළිබඳව ද තහවුරු කල ආරක්‍ෂක ලේකම්වරයා, Belt and Road මුලපිරීම සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ASEAN සහයෝගිතාවයේ දැක්ම වැනි කලාපීය මුලපිරීම් එකිනෙකට අනුපූරක වියයුතු බවට ද පෙන්වා දුන්නේය.

“සමානාත්මතාවය සහ අන්‍යොන්‍ය ගෞරවය තුලින් මෙහෙයවනු ලබන සංවාද සහ උපදේශන තුළින් අප අතර පවතින ගැටළු විසඳාගෙන ගැටුම් නිරාකරණය කරගනිමින් සාමකාමී අනාගතයක් ඇති කිරීම Beijing Xiangshan සමුළුවෙන් අප ඉදිරියට ගෙන යන ආකල්පයයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

China Association of Military Science සහ China Institute of International Strategic Studies (CIISS) යන ආයතන විසින් සම සත්කාරකත්වය දැරූ Beijing Xiangshan සමුළුව, ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ ආරක්‍ෂක සංවාදය සඳහා ආසියා-පැසිෆික් කලාපයේ පවතින ප්‍රබලතම වේදිකාවක් නිර්මාණය කල අතර, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සහ නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here